Home » රාජ්‍ය සේවකයන්ගේ සමාජ වගකීම

රාජ්‍ය සේවකයන්ගේ සමාජ වගකීම

by sachintha
February 13, 2025 1:01 am 0 comment

රාජ්‍ය සේවය යනු සමස්ත රාජ්‍ය යන්ත්‍රණයේ හදවතයි. එය රටක ජීවනාලිය ලෙස හැඳින්වූවාට ද වරදක් නැත. මේ නිසාම රාජ්‍ය නිලධාරීහු කිසියම් ජවසම්පන්න බල ආධිපත්‍යයකින් යුතු පිරිසක් ලෙසට ද හඳුන්වනු ලැබූහ. මන්ද යත්: පවතින රාජ්‍ය යන්ත්‍රණය ගමන් කරන දිශාව තීරණය කරන බලවේගය ඔවුන් වන බැවිනි.

රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා අලුතින් 7,456 දෙනකු බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ජනමාධ්‍ය මඟින් ඉකුත් දා වාර්තා කොට තිබිණි. අමාත්‍යාංශ හතකට, පළාත් සභා දෙකකට සහ කොමිෂන් සභාවකට මේ පිරිස බඳවා ගැනීමට නියමිත ය.

රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු හඳුනාගෙන, එය පිරවීම සඳහා අලුතින් මේ පිරිස බඳවා ගන්නා බව මෙමඟින් කියවිණි. රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කරමින්, නිශ්චිත ක්‍රමවේද අනුගමනය කරමින්, දේශපාලන මැදිහත්වීමකින් තොරව අදාළ තරුණ පිරිස රැකියා සඳහා අන්තර්ග්‍රහණය කර ගැනීමට මූලික පියවර සකස් කොට ඇති බව ද මේ පිළිබඳ නිල දැනුම් දීමේදී සඳහන් කෙරිණි.

ගත වූ කාල සීමාවේදී රාජ්‍ය සේවය රටට බරක් බවත්, එය ක්‍රමිකව දිය කර හැරියයුතු බවත් ඉකුත් රජයන් විසින් නිරන්තරයෙන් සමාජගත කළ මතවාදය විය.

කවර තත්ත්වයක් යටතේ වුව ද රාජ්‍ය සේවයේ පුරප්පාඩු සඳහා අලුතින් පිරිස් බඳවා ගැනීම සිදු කළ යුතු ය. මේ වනවිට උපාධිධාරීහු ඉතා විශාල සංඛ්‍යාවක් රැකියා විරහිතව සිටිති. එය බරපතළ සමාජ ගැටලුවක්ව ද පවතියි.

සමාජ සංවර්ධනයේ ගාමක බලවේගය මෙන්ම නිෂ්පාදන සාධක අතර ප්‍රමුඛ වනුයේ ද මානව ශ්‍රමයයි. මෙහිදී රාජ්‍ය සේවය තුළ භාවිතයට ගනු ලබන්නේ ද ඇගයීමට ලක් වන්නේ ද බුද්ධිමය ශ්‍රමයයි. එකී බුද්ධිමය ශ්‍රමය රටේ සංවර්ධනය සඳහා යොදාගැනීමට ක්‍රමවේද සකස් කර ගැනීම මෙහිලා අපේක්ෂිත කාරණයයි.

මෙපමණ කාලයක් සිදු වූයේ බලයට පත් දේශපාලන පක්ෂයේ හිතවතුන් විසින් තමන්ගේ දේශපාලන අන්තේවාසිකයන්ට රජයේ රැකියා ලබාදීමයි. රාජ්‍ය දේහයට දරාගත නොහැකි තරමට ශ්‍රමිකයන්ගෙන් රාජ්‍ය සේවය පිරවූ විට පද්ධතිය කඩාවැටීම අරුමයක් නොවේ. අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නන් කිසිදු දේශපාලනික මැදිහත්වීමකින් තොරව සුදුසුකම් මත පමණක් බඳවා ගන්නා බවට අසන්න ලැබුණු ප්‍රවෘත්තිය සතුටුදායක කාරණයක් වන්නේ මෙහෙයිනි.

අලුතින් රාජ්‍ය සේවයට පැමිණෙන නවකයන්ට ද කිවයුතු දෙයක් පවතියි. අප ඉදිරියේ පවතින්නේ ජාතික වගකීමක් බව පළමුව ඔවුන් අවබෝධ කොටගත යුතු ය. රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යන්ත්‍රණයක් බවට පත්කර ගැනීම සඳහා දායකත්වය දීම එහි ඇති පළමු සහ ප්‍රමුඛතම අභියෝගය වෙයි. විවිධ නාමකරණවලින් රාජ්‍ය සේවයේ තනතුරු පැවතිය ද, ඒ සියල්ලට පැවරෙන්නේ සාමූහික වගකීමකි. වසර දෙසීයකට වඩා පැරණි රාජ්‍ය සේවයේ වර්තමාන ඉරණමට හේතුව එකී සාමූහික වගකීම බිඳවැටීමයි. එය ජනතාවට හිතකර, ජනතාවට සේවය සපයන මධ්‍යස්ථානයක් බවට පත්කර ගැනීම සඳහා පුළුල් දායකත්වයක් අත්‍යවශ්‍ය වේ. එහිදී තනි තනි පුද්ගලයන්ට පැවරෙන වගකීම ඉටු කිරීම අනිවාර්ය කාරණයකි.

ඉකුත් මැතිවරණ දෙකකදී දුන් ජනවරමේ අපේක්ෂාවන්ට දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය සේවය ද වගවියයුතු බව සියලු දෙනා තේරුම් ගත යුතු කාරණයකි.

රාජ්‍ය සේවය යනු තම තමන්ගේ පක්ෂවලට උදව් කළ අයට රැකියා දෙන මධ්‍යස්ථානයක් නොවේ. නමුත් ගත වූ කාලය මුළුල්ලේම සිදුවූයේ එයයි. ඒ නිසා එලෙස බඳවාගත් රාජ්‍ය සේවකයන්ට රාජ්‍යයේ න්‍යාය පත්‍රය අමතක වී පක්ෂයේ න්‍යාය පත්‍රය මුලට පැමිණියේය. රාජ්‍ය සේවය බිඳවැටීමට බලපෑ ප්‍රධානතම හේතු අතරින් එය ද එක් කාරණයකි. මෙය ද වළක්වා ගතයුතු තත්ත්වයකි. අලුතින් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය වන අයට මෙම කාරණය අවබෝධ විය යුතුය.

නවීන ලෝකයේ වෙනස්කම්වලට සාපේක්ෂව, නූතන තාක්ෂණික අභියෝග ද ජය ගනිමින් අනාගත වැඩ ලෝකයට ගැළපෙන රාජ්‍ය සේවයක් නිර්මාණය කර ගැනීම සඳහා දායකත්වය දීම අලුතින් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය වන සියලු දෙනාගේ සාමූහික වගකීමක් වන්නේ ය. යල් පැනගිය රාජ්‍ය සේවය වෙනුවට අලුත් රාජ්‍ය සේවයක් නිර්මාණය කරගත යුතු ය. එකී ආකල්පමය වෙනසින් යුතු නූතන තරුණ ප්‍රජාවක් රාජ්‍ය සේවය වෙත අන්තර්ග්‍රහණය වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. පුද්ගල අපේක්ෂාව වෙනුවට පොදු අපේක්ෂා මත පදනම් වූ තාරුණ්‍යයේ රාජ්‍ය සේවාවක් අපි අපේක්ෂා කරමු. ජනතා බදු මුදල්වලට සාධාරණය ඉටු කරන සේවාවක් ඔවුන් විසින් ලබාදෙනු ඇතැයි ද, රාජ්‍ය සේවය කෙරේ එල්ල වී ඇති දුර්මත පලවා හැරීමට ඔවුන් සමත් වනු ඇතැයි ද අපි අපේක්ෂා කරමු.

ඒ අර්ථයෙන්, රාජ්‍ය පද්ධතියට අලුතින් සේවකයන් බඳවා ගැනීමේ රජයේ තීරණයට අපි ප්‍රශංසාව පළ කර සිටිමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT