Sunday, May 11, 2025
Home » ගාසා ඛේදවාචකය ගෝලීය කම්පනය හා අපේ හෘදසාක්ෂිය!

ගාසා ඛේදවාචකය ගෝලීය කම්පනය හා අපේ හෘදසාක්ෂිය!

by sachintha
February 13, 2025 1:10 am 0 comment

මේ කෘතිය ගැන වැදගත් යෝජනා තුනක් සඳහන් කරන්නට කැමැත්තෙමු. පළමුවැන්න පාර්ලිමේන්තුවේ සියලුම මහජන නියෝජිතයන්ට මෙයින් පිටපත බැගින් ලබාදිය යුතු බවය. දෙවැන්න දේශපාලන විද්‍යාව හා අන්තර්ජාතික සම්බන්ධතා ගැන කරුණු හදාරන හා උසස් අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන් වෙත ද පොතෙහි පිටපත බැගින් ලබා දිය යුතු බවය. තෙවැන්න පොත පිළිබඳ විද්වත් සංවාදයක් ඇති කිරීම සඳහා වේදිකාවක් තනාදීම සිදුවිය යුතු බවයි.

කර්තෘවරයා අපගේ හදවතට මෙන්ම බුද්ධියට ද එකවර තට්ටු කරයි. ඔහුගේ බලවත් පරිශ්‍රමය, ඉදිරිපත් වීම හා විචාරාක්ෂිය අපට පෙන්වා දෙන්නේ දේශපාලකයකු ගෝලීය මානුෂීය ඛේදවාචක සම්බන්ධයෙන් කෙතරම් සංවේදී විය යුතු ද යන්නය.

ගෝලීය සිදුවීම් කෙරෙහි සංවේදී වන ඕනෑම කෙනකුගේ සිත නවතින ස්ථාන කිහිපයක් පවතී. මැද පෙරදිග ගාසා තීරය, බටහිර ඉවුර, සුඩානයේ ඩාපූර් නගරය, කොංගෝවේ ගෝමා නගරය ඒ අතරින් ප්‍රධාන වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය, ලෝක සාමය, සැමට යුක්තිය හා සමානාත්මතාව ගැන ලෝක සංවාදයක යෙදී සිටින අයට දැකගත හැක්කේ හදකම්පා කරවන ජන සංහාරයන්ය. දරුවෝ සිය ගණන් එක පොකුරට මරා දැමෙති. තව පිරිසක් නිරාහාරව මියයති. රෝහල්, පාසල්, සරණාගත කඳවුරු හා ආහාර ආධාර රැගත් ට්‍රක්රථ පවා බරඅවි ප්‍රහාරවලට ගොදුරු වෙයි. සියලු මානව සම්මුතීන්, ගිවිසුම්, එකඟතා සුනුවිසුනු වී ඇත. මානව දයාවක් ඇති කිසිවකුට මේ ආක්‍රමණ හා පළි ගැනීම් දෙස බලා සිටිය නොහැකිය.

ලෝකයේ සියලු අවි – ගැටුම් නවත්වාලීම සඳහා ද බලය අහිමි කුඩා රාජ්‍යවලට යුක්තිය ළඟා කිරීම සඳහා ද පිහිටුවාගෙන පවත්වාගෙන යනු ලබන ලොව බලගතුම මානව සංවිධානය වන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ඇතැම් ආක්‍රමණ හමුවේ අසරණ ය. එම සංවිධානයට කළ හැකි දෙයක් නැත. බලය – ධනය හා අවි ආයුධ අතින් සංතෘප්ත රාජ්‍යයෝ ස්වකීය හිතුවක්කාරී ක්‍රියා කලාප දිගටම පවත්වාගෙන යති. මේ අතරින් මැදපෙරදිග පලස්තීන ජාතිකයන්ගේ ගැටලුව ප්‍රධාන වෙයි. 1948 අප නිදහස ලබාගන්නා විට පලස්තීන ජාතිකයෝ තම මව්බිම අහිමිකරගත් අනාථයෝ පිරිසක් බවට පත්වූහ. දැන් මේ ගැටුම ලොව ඇති පැරැණිම දේශපාලන ගැටුම ලෙස හැඳින්වේ. එය වැළැක්විය හැකි ජගතකු නැත. එ.ජා. මහලේකම්වරයා හඳුන්වා දෙන අන්දමට ගාසා තීරය යනු තනිකර අපායකි. ලෝක බලවතා වන අමෙරිකාවේ ආශීර්වාදය හා ආධාරය ලබන ඊශ්‍රායලය තමන්ගේ යුද අභ්‍යාස සිදු කරන කෙළි බිමක් බවට ගාසාතීරය පත්කරගෙන තිබේ.

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමනයත් සමඟ ලෝකයේ අවි – ගැටුම් නවතිනු ඇතැ’යි මතයක් මීට පෙර පැවැතිය ද එය මුළාවක් බව දැන් පෙනී ගොස් තිබේ. ට්‍රම්ප් දෙවනවර බලයට පත්වීමත් සමඟ ලෝකයේ ප්‍රධාන අවිගැටුම් අලුත් විලාසයකින් ක්‍රියාත්මක වන බවක් දකින්නට පුළුවන.

අමෙරිකන් ජනතාවගේ බදු මුදල් විදේශීය රටවල යුද්ධ නඩත්තු කිරීම සඳහා යෙදවීම, වගා නතරකොට කුඩා රාජ්‍යවලට යුක්තිය ඉටුකරන බවට ප්‍රතිඥා දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් යුක්තිය ඉටු කරන්නට යන්නේ ජාවාරම්කාරයකු හැටියටය. ඔහුට අනුව පලස්තීන ජාතිකයන් අසල්වැසි ඊජිප්තුව, ජොර්දානයට හෝ අරාබි රටකට සංක්‍රමණය විය යුතුය. ගාසා බිම්තීරය වෙළෙඳ වටිනාකමක් සහිත භූමියක් ලෙස නැවත සංවර්ධනය කළ යුතුය. ඊට අවශ්‍ය පසුබිම ඊශ්‍රායලය විසින් සකස් කළ යුතුව තිබේ.

අමෙරිකන් ජනාධිපතිවරයාගේ තීරණවලට අනුව අන්තර්ජාතික අධිකරණය අක්‍රිය කළ යුතුය. මානව හිමිකම් කොමිසම අහෝසි කළ යුතුය. අමෙරිකන් ආධාර වැඩසටහන් මේ වනවිටත් නතර කර තිබේ. ලෝක පර්යාය තුළ මීට ‍එරෙහි ව්‍යාපාර ගොඩනැ‍ඟෙමින් පවතින්නේ වුව ට්‍රම්ප් සිය පියවර එක අඟලකින් හෝ පසුපසට ගන්නා බවක් පෙනෙන්නට නැත. මේ පරිසරය තුළ සියලු සාම ව්‍යාපාර ගල්ගැසී ඇත. බුද්ධිමතුන් නිහඬ ය. සමාජ ක්‍රියාධරයන්ගේ විරෝධතා වචනවලට පමණක් සීමා වී ඇත. ගාසා තීරය හා බටහිර ඉවුර තවදුරටත් මිහිපිට අපායන්සේ පැවැතිය යුතු ද? පලස්තීන අනාථයන්ගේ අවාසනාවන්ත ඉරණම විසැඳීම සඳහා අප ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? මේ පිළිබඳ අදහසක් ඇතිකර ගැනීමට සුදුසු වටපිටාව පෙන්වා දෙන “පොත් පිංචක්” පළ වී ඇත. එහි කතුවරයා ඉම්තියාස් බාකීර් මාකාර් මහතා‍ය. කෘතියේ නම “පලස්තීනය!” ලෙසින් හඳුන්වා ඇත.

පලස්තීනය පරිච්ඡේද අටකින් සමන්විත කෘතියකි. එකිනෙක පරිච්ඡේදයෙන් ගැටුමට අදාළ විවිධ පැතිකඩ හේතු – සාධක – දත්ත – තොරතුරු හා බුද්ධිමතුන්ගේ මතවාද ඔස්සේ හඳුන්වාදීමට කතුවරයා හැමවිටම වග බලාගෙන තිබේ. අවසන් ලෙස බලනවිට එය පර්යේෂණ කෘතියක් ලෙස ද, අධ්‍යයන වාර්තාවක් ලෙස ද හැඳින්විය හැකිය. ඉම්තියාස් මහතා තම හිතළු වාර්තා කර නැත. ඔහු ගොඩනඟන සෑම තර්කයක් ම සහේතුකය. එබැවින් පිළිගත හැකිය. පළමුවන පරිච්ඡේදය වෙන් වී ඇත්තේ ගැටුමේ දීර්ඝ ඉතිහාසය සැකෙවින් දැක්වීමට හා එහි වර්තමාන ස්වරූපය නිවැරැදි ලෙස නිරූපණය කිරීමටය. දෙවන පරිච්ඡේදය පලස්තීනයේ ඛේදවාචකය නිවැරැදි ලෙස අර්ථ දැක්වීමට වෙන්කර ඇත.

මේ කෘතියේ එන අන්තර්ගතය අප ග්‍රහණය කරගත යුත්තේ කතුවරයා ව්‍යවස්ථා දායක සභාව තුළ නැඟී සිට ඉදිරිපත් කරන දේශනා, යෝජනා, සංවාද ආදිය හැටියට සැලැකිල්ල යොමු කරමින්ය. ඒ සජීවී දර්ශනය උපකල්පනය කරමින්ම ඔහුගේ මතවාදය විමසුමට ලක් කළ හැකිය. එහිදී විශේෂ සාධක කිහිපයක් ඉස්මතු කළ හැකිය.

(I) කතුවරයා කිසිවිටෙක ඒකපාර්ශ්වීය වන්නේ නැත. ඔහු ඊශ්‍රායලයේ බලහත්කාරය, අමෙරිකාවේ හිතුවක්කාරය මෙන්ම පලස්තීන කණ්ඩායම්වල ප්‍රචණ්ඩ හැසිරීම් කෙරෙහි ද සිය අවධානය යොමු කරයි.

(II) ලෝක සංවිධාන, බලවත් රටවල් සේම ලෝක සාමය සඳහා වූ ව්‍යාපාර වචනවලට පමණක් සීමාවීම ගැන ඔහුට ඇත්තේ කළකිරීමකි. පසුබෑමකි. ඉම්තියාස් මහතාගේ තර්කය වන්නේ ක්‍රියාකාරී වැඩපිළිවෙළක අවශ්‍යතාව ඇඟිල්ලෙන් ඇන පෙන්වා දීමය.

කුඩා රාජ්‍යයක් ලෙස ද, දිළිඳු රාජ්‍යයක් ලෙස ද අපට මේ සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක් ද? කතුවරයා ඉතා සංවේදී උත්තරයක් ලබා දෙයි.

අමෙරිකාවේ අධිරාජ්‍යවාදයට එරෙහිවීම, ඊශ්‍රායලයේ ව්‍යාජ නිවාසයට විරුද්ධව නැඟී සිටීම, පලස්තීන ජනයාට සහාය දක්වමින් අකුරු කිහිපයක් ගළපා විරෝධතාවක් ප්‍රදර්ශනය කිරීම ජාත්‍යන්තර විහිළු ලෙස දකින ඉතා සුළු පිරිසක් අප අතර සිටිති. හෘද සාක්ෂියක් නැති එබඳු අයට ඉම්තියාස් මහතා ලබාදී ඇත්තේ කදිම පිළිතුරකි.

තුන හා හතර පරිච්ඡේද අපගේ විදේශ ප්‍රතිපත්තිය ගැන කරුණු කියන්නටත් එහි ගුණ-දොස් පෙන්වා දෙන්නටත් වෙන් කරගෙන ඇත. එය ඉතා වැදගත් දේශපාලන මත දැක්වීමකින් සමන්විත කොටසක් බව පෙන්වා දිය යුතුය. අපේ පාලකයන්ගේ දුරදක්නා ඥානය හා එකිනෙක ගෝලීය සිදුවීම් පිළිබඳ තීන්දු – තීරණ ගත් නිර්භීත විලාසය ද මෙහිලා සංවාදයට ගෙන ඇත. මෙහිදී

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ආර්.ප්‍රේමදාස මහතා, ජේ.ආර්. ජයවර්ධන මහතා මෙන්ම ඩඩ්ලි සේනානායක මහතා ද කෘතගුණවේදී ද සිහිපත් කර තිබීම විශේෂ සඳහනක් ලෙස උපුටා දැක්විය යුතුය. පස්වන පරිච්ඡේදයේ එන එක්තරා විග්‍රහයක් මීට නිදසුන්කොට දැක්විය හැකිය.

“ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වර්ණවත්කොට ගෞරවය ලබාදුන් නායකයන් දෙදෙනකු සිහිපත් කිරීම මේ මොහොතේ මගේ යුතුකමක් යැයි මා සිතනවා”

“ඒ සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අග්‍රාමාත්‍යතුමිය හා රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයායි. නිවැරැදි දෑ වෙනුවෙන් පෙනී සිටීම ඉදිරියේ කිසිදු වාසි ප්‍රයෝජනයකට, බියගැන්වීමකට හෝ තර්ජනයකට හෝ අපේ නායකයන් යටපත් කිරීමට හැකි වූයේ නැහැ. අප යා යුතු නිවැරැදි මඟට අදත් එම ආදර්ශ එළිය දෙමින් පවතින බව සඳහන් කළ යුතුය.”

(5 – පරිච්ඡේදය පිටුව – 53)

මේ කෘතිය ආකාර හතරකින් ප්‍රස්තුත විෂය කෙරෙහි බලපෑම් ඇති කරමින් සංවාදයක් ඇති කිරීමට උත්තේජනයක් ඇති කරයි.

(I)ලොව පැරැණිම දේශපාලන තුවාලය ලෙසින් හඳුන්වනු ලබන පලස්තීන ගැටුම පිළිබඳ පරිපූර්ණ වැටහීමක් ලබාගැනීම හා එහි නූතන ප්‍රවණතා පිළිබඳ දැනගැනීම.

(II)අමෙරිකන් ව්‍යාප්තිකවාදයට හා බලහත්කාරයට එරෙහිව හඬක් නැඟීමට තරම් නිර්භීතභාවයක් ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාව තේරුම්ගැනීම.

(III) ශ්‍රී ලංකාවේ අප ගෝලීය සිදුවීම් කෙරෙහි දක්වන ප්‍රතිචාර හා දායකත්වයන් පිළිබඳ නැවත සිතා බැලීමට නූතන සමාජය පෙලැඹවීම.

(IV) ලෝක බුද්ධිමතුන්, විචාරකයන් හා දේශපාලන ප්‍රභූන් යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් දක්වන ප්‍රතිචාර කෙබඳුදැ’යි වටහාගැනීම හා අපගේ දායකත්වය කෙබඳුදැ’යි මනාව තේරුම් ගැනීම

පලස්තීනය යනු කුඩා පොත් පිංචක් වුව ඒ තුළ මහා චින්තනයක් ඇති බව අවසන් ලෙස සටහන් කර තැබිය යුතුය.

රන්ජන් අමරරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT