ශ්‍රී ලංකාවේ බැඳුම්කර වෙළෙඳපොළ කාර්යක්ෂම කිරීමට ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ඒකාබද්ධ සමාගමක් වන Techscrolll ආයතනය iBond නමින් වැඩි දියුණු කළ නව මෘදුකාංගයක් හඳුන්වාදී ඇත.
ශ්‍රී ලංකාවේ බැඳුම්කර අලෙවි වෙළෙඳපොළ තුළ රජයටත්, බැඳුම්කර අලෙවිකරුවන්ටත්, ඒවා මිලදී ගන්නා පිරිසටත් අතිමහත් වාසි සහ ප්රතිලාභ හිමිකර දෙමින් එම කටයුත්තේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට සමත් නවෝත්පාදන මධ්‍යගත ගෙවීම් පියවීම් පද්ධතියක් iBond නමින් හඳුන්වා දීමට මෙරට ප්රමුඛ පෙළේ තාක්ෂණික නවෝත්පාදන හඳුන්වා දෙන්නෙකු වන Techscrolll පෞද්ගලික සමාගම පියවර ගෙන තිබේ.
භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් ඇතුළු මෙරට රජයට නව මූල්‍ය ආයෝජන ලබා ගැනීමට හැකි ක්‍රමවේදය සඳහා වඩාත් කාර්යක්ෂම සහ ඉක්මනින් තීන්දු තීරණ ගත හැකි, වඩාත් ආරක්ෂාකාරී විනිවිදභාවයෙන් යුතු මෙහෙයුම් ක්‍රමවේදයක් මෙම iBond මත පදනම් වූ මෘදුකාංග පද්ධතියේ සහාය ලබා ගනිමින් සිදු කර ගත හැකිවීම විශේෂ කරුණකි.
රජයේ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ආයතන අතර පවතින මනාව සම්බන්ධීකරණය නොවීමේ දුර්ගුණය නැති කිරීමට, රජයේ ආයතනවල සේවා කාර්යක්ෂම කිරීමට, සන්නිවේදන බාධා සහ හිඩැස් අවම කිරීමට ප්‍රමාදයන් දුරු කිරීමට මෙම නවෝත්පාදන මෙහෙයුම් පද්ධතිය භාවිතයට ගතහොත් හැකියාව ලැබෙනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් මේ දිනවලදී ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන මොහොතක එම කටයුතු වඩාත් වේගවත් කිරීමට මෙම මධ්‍යගත ඒකාබද්ධ තාක්ෂණික නවෝත්පාදනය සොයා ගැනීම ඉතා වැදගත් බව Techscrolll සමාගමේ ජ්‍යෙෂ්ඨ උපදේශක, රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රභාත් වීරසිංහ පැවසීය.
වසර පහළොවකටත් අධික කාලයක් පුරා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ නව සොයා ගැනීම් පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යයනයක නිරතවන ඒ ඔස්සේ නව මෘදුකාංග රටට ලෝකයට හඳුන්වාදීමට කටයුතු කරන තමන් අතුළු මෘදුකාංග සංවර්ධන විශේෂඥයන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම මෘදුකාංගය මේ වන විට ලෝකයේ තිබෙන නවීනතම තොරතුරු තාක්ෂණ ක්‍රමවේද භාවිත කරමින් සකස් කරමින් සිටින බව ද ඔහු කීය.
ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා උපරිමයෙන් තොරතුරු තාක්ෂණය සහ නවෝත්පාදන ක්‍රමවේද සහ මෘදුකාංග භාවිත කළ යුතුය. ඒවා ශ්‍රී ලංකාවට හඳුන්වා දිය යුතුයි. ඒ අරමුණින් දැනට ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව පාදක කොට ගනිමින් ක්‍රියාත්මක Techscrolll පෞද්ගලික සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි සචින්ත නානායක්කාර මහතාගේ නායකත්වයෙන් හඳුන්වාදී ඇති මෘදුකාංගය ශ්‍රී ලංකාවට වඩාත් ගැළපෙන එකක් බව කිව යුතුය.
දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට බැඳුම්කර වෙළෙඳපොළට පහසුවෙන් පිවිසීමට හැකි නව මෘදුකාංගය හඳුන්වාදීම හරහා රජයට එක්සත් ජනපද ඩොලර් බිලියන එකක ආයෝජනයක් පවා ඉතා පහසුවෙන් සපයා ගැනීමට හැකියාව ලැබෙන බවත් රජයේ තාක්ෂණික වෙළෙඳපොළේ වටිනාකම ඩොලර් බිලියන එකකින් ඉහළ යන බවත් ආචාර්ය ප්‍රභාත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
නව තාක්ෂණික මෘදුකාංගය හඳුන්වාදීමේ කටයුත්තේදී මෙම ක්ෂේත්‍රෙය් ප්‍රවීණයකු වන ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය රාජිත උඩවල්පොළ, Techscrolll පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සහ සාමාන්‍යාධිකාරි විසුර ලොකු ගමගේ, මෙහෙයුම් ප්‍රධානී බෙවන් ක්‍රෝනර්, උපායමාර්ගික සැලසුම් ප්‍රධානී අංජන ලොකුගමගේ, මෘදුකාංග සංවර්ධන විශේෂඥ දිනුක නානායක්කාර යන විද්වත් මණ්ඩලය විශාල කාර්යභාරයක් ඉටු කරයි.
ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළෙඳපොළ පමණක් නොව සමස්ත ඩිජිටල්කරණ වැඩ පිළිවෙළම ලොව පිළිගත් මට්ටමට හැඩගස්වා ගැනීමට සහ ශ්‍රී ලාංකික ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා ගැනීමට මෙම නව මෘදුකාංගය යොදා ගැනීම විශාල පිටිබලයක් වන බව විද්වත් කමිටුව පවසයි.
ජයසිරි මුණසිංහ