‘ක්ලීන් ශ්‍රී ලංකා‘(Clean Sri Lanka) ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහන් මේ මස (22) වැනිදා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් ස්වාමිවරයාගේ 168 වැනි ජන්මදිනය එදින යෙදී ඇති හෙයින් එම දිනය ද අනුස්මරණය කරමින් දුම්රිය ස්ථාන 96ක්, තෝරාගත් බස් නැවතුම්පොළවල් හා වෙරළ තීරයන් පිරිසිදු කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පැවැසීය.
ඊට අදාළ සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්වුණ අතර එහිදී මෙම තීරණවලට එළැඹි බව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය තුළින් පවිත්‍රතාවයෙන් පිරි සුන්දර ශ්‍රී ලංකාවක් නිර්මාණය කර ගැනීමට හැකි වන බව පැවැසු ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා බාලදක්ෂ ව්‍යාපාරයේ නිරත දරුවන් තුළද පවිත්‍රතාව ආරක්ෂා කර ගැනීම පිළිබඳ ආකල්ප තව තවත් වර්ධනය කිරීමට අවස්ථාව හිමිවන බව පැවැසීය.
බාලදක්ෂ දිස්ත්‍රික් 37ක් පාදක කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර ප්‍රවාහන අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ දිවයින පුරා පිහිටි සියලු පළාත් පාලන ආයතනයන්හි සහය ඊට හිමිවන බව ද ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
ආරම්භක වශයෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන බාලදක්ෂ සංගමය මඟින් ඉදිරියට නඩත්තු කරගෙන යාමට අදහස් කරන අතර දැන්වීම් ප්‍රදර්ශනය කරමින් මහජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
බාලදක්ෂ දිසා කොමසාරිස්වරුන් 37 දෙනා සමඟ බාලදක්ෂ කණ්ඩායම් මෙම ව්‍යාපෘතිය සඳහා එක්වන බව ද හෙතෙම පැවැසීය.
මෙම ක්‍රියාන්විතය වැඩිදියුණු කර පවත්වාගෙන යාම සඳහා මහජනතාවගේ උපරිම සහයෝගය අපේක්ෂා කරන බවත් අදාළ ස්ථාන පිරිසිදුව පවත්වාගෙන යන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ඉල්ලා සිටියේය.
මේ සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) ඇන්ඩෘ විජේසූරිය, කපිතාන් (විශ්‍රාමික) කිත්සිරි ජයතිලක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොලගේ, දුම්රිය අධිකාරි එම්.අයි. ජයතිලක මහත්වරු ද සහභාගි වූහ.