Home » විද්‍යා හා තාක්ෂණ ඇමැති හා අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

විද්‍යා හා තාක්ෂණ ඇමැති හා අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

by sachintha
February 13, 2025 2:53 am 0 comment

ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර විද්‍යාත්මක පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රයේ සහයෝගීතාවන් ශක්තිමත් කිරීම පිළිබඳ විද්‍යා හා තාක්ෂණ ඇමැති ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් (Julie Chung) මහත්මිය අතර විශේෂ හමුවක් පැවැත්විණ.

මෙම හමුව පෙරේදා (10) බත්තරමුල් පිහිටි විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ පැවැති අතර ඒ පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. පර්යේෂණ සහ සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයේ එකඟතා එහිදී ඇතිවිය.

මෙරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ එහි අනුබද්ධ ආයතන අමෙරිකානු රජයේ ප්‍රමුඛ පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ කිරීම කෙරෙහි මෙම දී සාකච්ඡා කළ අතර, ශ්‍රී ලාංකික විද්‍යාඥයින්ට අවශ්‍ය අවස්ථාවල දී අ‍ෙමරිකා එක්සත් ජනපදයේ පුහුණුවක් ලබා ගැනීමට ඇති අවස්ථා පිළිබඳව දෙපාර්ශ්වය මෙහිදී අවධානය යොමු කළහ. එමඟින් ඔවුන්ගේ විශේෂඥතාව වැඩි දියුණු කර ජාතියේ විද්‍යාත්මක ප්‍රගමනයට ඉහළ දායකත්වයක් ලබා ගැනීමට ඉදිරියේ දී හැකියාව ලැබෙනු ඇත. අමෙරිකා එක්සත් ජනපද පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන සමඟ විධිමත් ගිවිසුම් හරහා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන උනන්දුව ඇමැතිවරයා මෙහි දී අවධාරණය කළ අතර ඒ අනුව දැනුම හුවමාරුව, ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති සහ නවෝත්පාදන හවුල්කාරිත්වයන් සඳහා පහසුකම් සැලසීම සඳහා අවබෝධතා ගිවිසුම් (MOU) අත්සන් කිරීමේ හැකියාව පිළිබඳව ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා කෙරිණි. මීට අමතරව, විද්‍යාත්මක පර්යේෂණ සහ තාක්ෂණ සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා රජය කැපවන බවත්, රට තුළ විශේෂිත පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා රජය උනන්දුවක් දක්වන බවත් ඇමැතිවරයා මෙහි දී ප්‍රකාශ කළේය. ජූලි චන්ග් තානාපතිනිය මෙම අරමුණ අගය කළ අතර ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දිය හැකි බව ප්‍රකාශ කළාය මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් මොහොමඩ් නවාවි මහතා ද එක්විය.

 

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT