ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කාර්යයන් සඳහා යොදා ගැනෙන ආනයනික Morning Hawsers සහිත රුපියල් මිලියන 13ක් වටිනා ඝන නැංගුරම් කඹයක් අනාරක්ෂිත ලෙස ගබඩා කිරීම හේතුවෙන් පරිහානියට පත්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
2023 දෙසැම්බර් 31 වැනි දිනට අදාළව නිකුත් කළ වාර්තාවේ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම තුළ සිදුව ඇති හඳුනාගත් අලාභයක් ලෙස වර්ගීකරණය කර ඇති මෙම සිදු වීමට අදාළ කඹය හා තවත් කඹයක් මෙරටට ආනයනය කර ඇත්තේ යුරෝ 44,911ක පිරිවැයකටය. ආනයනය කළ Morning Hawsers සහිත ඝන නැංගුරම් කඹ 2022 හා 2023 වර්ෂවලදී සමාගම වෙත භාර දී ඇත.
රුපියල් මිලියන 13ක් වටිනා මෙම කඹය භාවිතයෙන් තොරව සමාගමේ තෙල් පහසුකම් අංශයේ බාහිර ගබඩාවක අනාරක්ෂිත ලෙස ගබඩා කිරීම නිසා පරිහානියට පත්ව ඇති බව නිරීක්ෂණය වී තිබේ. කඹය ගබඩා කිරීමේදී භාවිත කළ යුතු කොන්දේසි මොනවාද යන්න නිශ්චිතව සලකා බලා නොමැති සමාගම ගබඩා කිරීමේ කාලය තුළ හානි වළක්වාලීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ද එම වාර්තාවේ දැක්වෙයි.
තවද මෙම ඒකකය ආවරණය කරමින් මාර්ගගත භාණ්ඩ අධීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට සමාගම කටයුතු කර නොමැති බවත් වැඩි අගයක් සහිත භාණ්ඩ සහ අක්වෙරළ මෙහෙයුම්වලට අදාළ වත්කම් විවෘත ස්ථානවල ගබඩා කර තිබුණු බවත් එහි සඳහන් වේ.
රන්මලී සෝමසිරි