Sunday, May 11, 2025
Home » බැරැක්කයේ සිට පොලීසියට ඇමතුමක් දුන් තලංගම PC අත්අඩංගුවට
“තලවතුගොඩ එකාට වෙඩි තියනවා”

බැරැක්කයේ සිට පොලීසියට ඇමතුමක් දුන් තලංගම PC අත්අඩංගුවට

by sachintha
February 13, 2025 12:55 am 0 comment

මරණ තර්ජනයකට ලක්ව සිටින තලවතුගොඩ පදිංචි මස්කඩ හිමිකරුවකු මරා දමන බවට තලංගම පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් දෙමින් කළ අභියෝග කිරීමක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා තලංගම පොලීසියේම සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකු තලංගම පොලීසිය මඟින් පෙරේදා (11) අත්අඩංගුවට ගෙන ඇත. මෙම දුරකතන ඇමතුම පොලිස් ස්ථානයට මෙම නිලධාරියා විසින් දී ඇත්තේ මෙම නිලධාරියා බැරැක්කයේ රැඳී සිටිමින් පසුගියදා (10) රාත්‍රී කාලයේදීය.

පොලිස් ස්ථානයේ දුරකතනයට ඇමතුම දෙමින් “ඕ.අයි.සී. ඉන්නව ද?” යැයි විමසා “අද උඹලගේ තලවතුගොඩ එකාට වෙඩි තියනවා. පුළුවන් දෙයක් කරපන්…” යනුවෙන් පවසා ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

රාත්‍රී රාජකාරියේ සිටි උප සේවා නිලධාරියා මේ බව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් කිරීමත් සමඟ තර්ජනයට ලක්ව සිටින මස්කඩ ව්‍යාපාරිකයාගේ ආරක්ෂාව ගැන විශේෂ වැඩපිළිවෙළක් ද සකස් කර ඇත.

මෙම දුරකතන ඇමතුම ගැන නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතා දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔහු පොලිස් ස්ථානාධිපතිවරයාට උපදෙස් දී ඇත්තේ එම ඇමතුම දුන් පුද්ගලයා හඳුනා ගැනීමට අධිකරණයට කරුණු වාර්තා කර දුරකතන විශ්ලේෂණයක් සිදු කරන ලෙසය. ඒ අනුව දුරකතන සමාගමෙන් තොරතුරු ගෙන කළ පරීක්ෂාවේදී පෙනී ගොස් ඇත්තේ අදාළ ඇමතුම දී ඇත්තේ තලංගම පොලීසියේම සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකු බවය.

අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ විහිළුවට එම ඇමතුම දුන් බවය. නමුත් ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි. මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ද ඊයේ වන විට පියවර ගෙන තිබිණි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT