Home » ශ්‍රී ලංකා-ඉන්දියා ආරක්ෂක සහයෝගිතා තර කිරීමට අවධානය

ශ්‍රී ලංකා-ඉන්දියා ආරක්ෂක සහයෝගිතා තර කිරීමට අවධානය

-දෙරට ආරක්ෂක ලේකම්වරු බැංගලෝරයේදී හමුවෙති

by sachintha
February 13, 2025 3:00 am 0 comment

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන ආරක්ෂක සහයෝඟිතාව තවදුරටත් ඉහළ නැංවීමට දෙරටේ අවධානය යොමුව තිබේ.

ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා ඉහළ නැංවීමේ අරමුණින් ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරු අතර හමුවක් ඉන්දියාවේ දී පවත්වා තිබෙන අතර එහිදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි මේ දිනවල පැවැත්වෙන Aero India 2025 ගුවන් සංදර්ශනයේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස සහභාගි වී සිටින ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ඊට සමගාමීව ඉන්දීය ආරක්ෂක ලේකම් ශ්‍රී රාජේෂ් කුමාර් සිං මහතා හමුවූ බවද එම කාර්යාලය පෙන්වාදෙයි.

දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේ දී මූලික වශයෙන්, දෙරටේ අන්‍යෝන්‍ය මුහුදු සීමාවන් තුළ නීතිවිරෝධී මසුන් ඇල්ලීම මැඩලීමේ ක්‍රියාමාර්ග, සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ දෙරටේ ආරක්ෂක හමුදා සඳහා විවිධ පුහුණු අවස්ථාවන් පුළුල් කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානයට ලක්ව තිබේ.

මීට අමතරව, දෙරටේ ආරක්ෂක විෂය ක්ෂේත්‍රයන් තුළ සහයෝගිතාව වර්ධනය කරමින් ද්විපාර්ශ්වික හමුදා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

මෙම හමුව ඔස්සේ ඉන්දු – ශ්‍රී ලංකා දෙපාර්ශ්වයේම නිලධාරීන් කලාපීය ස්ථාවරත්වය සහතික කිරීම සහ දෙරට අතර උපාය මාර්ගික සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා වන තම කැපවීම යළිත් තහවුරු කර තිබෙන අතර නැඟී එන ගෝලීය ආරක්ෂක අභියෝගවලට ඵලදායී අයුරින් මුහුණ දීම සඳහා අවශ්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම, ඒකාබද්ධ පුහුණු අභ්‍යාස පැවැත්වීම සහ මෙහෙයුම් සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව ද ඔවුහු අවධාරණය කර තිබේ.

 

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT