Home » මන්ත්‍රී අර්චුනා යාපනයේ හෝටලයකදී පුද්ගලයකුට වීදුරුවකින් ගහලා

මන්ත්‍රී අර්චුනා යාපනයේ හෝටලයකදී පුද්ගලයකුට වීදුරුවකින් ගහලා

by sachintha
February 13, 2025 1:02 am 0 comment

යාපනයේ පිහිටි හෝටලයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා විසින් කළ පහරදීමකින් තුවාල ලැබූ බව කියන පුද්ගලයකු යාපනය රෝහලේදී ඊයේ (12) සැත්කමකට ලක්කර ඇත.

වීදුරුවකින් කළ පහරදීමකින් එම පුද්ගලයාට තුවාල සිදුව ඇති බවත් යාපනය රෝහලේදී ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත් පොලීසිය කියයි.

මෙම පහරදීම සිදුව ඇත්තේ පෙරේදා (11) රාත්‍රී කාලයේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා රාත්‍රී ආහාරය ගැනීමට හෝටලයකට ගොස් සිටියදී ජංගම දුරකතනයෙන් වීඩියෝ කිරීමක් සම්බන්ධයෙන් පුද්ගලයකු විරෝධය දක්වා ඇති බවත් එහිදී ඇතිවුණු නොසන්සුන් තත්ත්වයක් හමුවේ පහරදීම සිදුව ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් පොලීසියට මුල්ම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ මන්ත්‍රී රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයාය. තමාට පුද්ගලයන් දෙදෙනකු විසින් පහරදුන් බව සඳහන් කරමින් ඔහු 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට දුරකතන ඇමතුමක් දී පැමිණිල්ල කර තිබේ. තමාට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් තමාට පොලිස් ආරක්ෂාවක් දෙන ලෙසත් එහිදී ඔහු පොලීසියෙන් ඉල්ලා ඇති බව ද පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි යාපනය නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කාලිංග ජයසිංහ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම කරුණු සොයා බලා විමර්ශන පැවැත්වෙන බව නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT