Sunday, May 11, 2025
Home » නුවරඑළිය නව දිස්ත්‍රික් ලේකම් වැඩ භාරගනී

නුවරඑළිය නව දිස්ත්‍රික් ලේකම් වැඩ භාරගනී

by sachintha
February 13, 2025 1:14 am 0 comment

නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම් වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන තුෂාරි තෙන්නකෝන් මහත්මිය රාජකාරි ආරම්භ කළාය. පෙරේදා (11) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඇය වැඩ භාරගැනීම සිදු විය.

නුවරඑළිය දිස්‍ත්‍රික් ලේකම් වශයෙන් පත්වීමට පෙර තුෂාරි තෙන්නකෝන් මහත්මිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) වශයෙන් සේවය කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උද්භිත විද්‍යාව සහ රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබා ගෙන ඇති තුෂාරි තෙන්නකෝන් මහත්මිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හදාරා ඇත.

2003 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වන තුෂාරි තෙන්නකෝන් මහත්මිය 2004 වර්ෂයේ සිය පළමු පත්වීම ලෙස මාතලේ සහකාර ප්‍රාදේශීය ලේකම් වශයෙන් රාජකාරි ආරම්භ කර ඇත.

තෙන්නකෝන් මහත්මිය හාරිස්පත්තුව සහකාර ප්‍රාදේශීය ලේකම්, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර ලේකම් වශයෙන් ද කටයුතු කරන ලදි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පාලන), නියෝජය අධ්‍යක්ෂ (පාලන), අධ්‍යක්ෂ (ආයතන), අධ්‍යක්ෂ (පරිපාලන) යන තනතුරු දරා ඇති තෙන්නකෝන් මහත්මිය උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ලෙසද කටයුතු කර තිබේ.

මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනිකා කවිසේකර, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ශාලිකා ලිදකුඹුර යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින්, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

හැටන් රංජිත් රාජපක්ෂ හැටන් මධ්‍යම විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT