Saturday, May 10, 2025
Home » විවිධ වෛද්‍ය ක්‍රමයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ප්‍රතිකාර සේවාවක් එකම රෝහලක දී

විවිධ වෛද්‍ය ක්‍රමයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ප්‍රතිකාර සේවාවක් එකම රෝහලක දී

by chanaka
February 14, 2025 2:45 pm 0 comment

විවිධ වෛද්‍ය ක්‍රමයන්ගෙන් සමන්විත ඒකාබද්ධ වෛද්‍ය ප්‍රතිකාර සේවාවක් ලබා දීම එකම රෝහලක දී සිදු කිරීමේ නව ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවත් එම වැඩපිළිවෙළ පල්ලෙකැලේ පළාත් ආයුර්වේද රෝහලෙන් ආරම්භ කිරිමටඅදහස් කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේශ්‍රී ලංකාවේ තෙවන ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර සහිත රෝහල වශයෙන් ඉතිහාසයට ද එක්වෙමින් ආයුර්වේද ප්‍රතිකාර සේවාවන් රැසක් ලබාදෙනු ලබන මධ්‍යම පළාතේ, පල්ලෙකැලේ පළාත් ආයුර්වේද රෝහලේ වත්මන් ප්‍රතිකාර සේවාවන් පසුගියදා සොයා බැලීමට‌ එක් වෙමිනි.

බටහිර වෛද්‍ය ක්‍රමයන් තුළින් මෙන්ම දේශීය ප්‍රතිකාර ක්‍රමවේදයන් තුළින් ද ජනතාව වෙත වඩා යහපත් වූ සෞඛ්‍ය ආරක්ෂිත, උසස් ජීවන තත්ත්වයක් ලබාදීමේ අපේක්ෂාවෙන් මෙම නව සැලසුම් දියත් කරන බවත් එ් තුළින් දේශීය වෛද්‍ය ප්‍රතිකාර සේවාවන්ට අගයක් මෙන් ම, විශිෂ්ටත්වයක් ද ලබා දීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

සියලු ආයුර්වේද ප්‍රතිකාර අංශයන්ගෙන් සමන්විත පල්ලෙකැලේ පළාත් ආයුර්වේද රෝහල අතීතයේ වතු රෝහලක් ලෙස ආරම්භ කොට ඇති අතර, රෝහල ස්ථාපිත කොට මේ වන විට වසර 40කට අධික කාලයක් ගතව ඇත. පංචකර්ම ප්‍රතිකාර ඒකක සහ නේවාසික වාට්ටු සංකීර්ණ 08 කින් ද ගෙවන වාට්ටු කාමර 11 කින් ද සමන්විත මෙම රෝහලෙන්දිනකට රෝගීහු 500 කට අධික ප්‍රමාණයක් නේවාසිකව හා බාහිර ලෙස ප්‍රතිකාර ලබා ගනිති.

මෙහි දී,පල්ලේකැලේ ආයුර්වේද රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකය, රෝගී ප්‍රතිකාර වාට්ටු සංකීර්ණය, ඖෂධ ඇඹරුම් ඒකකය, මුළුතැන්ගෙය, ශල්‍යාගාරය, භික්ෂු වාට්ටුව, පංචකර්ම ප්‍රතිකාර ඒකකය, ගෙවන වාට්ටු ඇතුළු රෝහල් පරීශ්‍රය අමාත්‍යවරයා පෞද්ගලිකවම නිරික්ෂණය කළේ ය.

රෝහල් පරීශ්‍රය නිරීක්ෂණයෙන් අනතුරුව මධ්‍ය පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ඇමතු අමාත්‍යවරයා, මධ්‍යම පළාතට මහඟු සේවාවක් සපයන මෙම ආයුර්වේද රෝහල සංචාරක ආකර්ශනය දිනාගත හැකි,රෝහලක් බවට පත් කළ හැකි බවත්, එමෙන් ම රෝහලෙන් ලබාදෙන ප්‍රතිකාර සේවාවන් දෙස් විදෙස් ජනතාව අතර ප්‍රවර්ධනය සහ ප්‍රචලිත කිරීම තුළින්විදේශ විනිමය උත්පාදනය කරන ස්ථානයක් බවට පත් කළ හැකි බව පැවසී ය.

ඉදිරි වසර තුළ මෙරටට සංචාරකයන් ලක්ෂ 40 ක් ගෙන්වා ගැනීමට රජය සැලසුම් සකස් කරන අවස්ථාවක එම සංචාරකයින් වෙරළට, හෝටලයක විවේකයක් ගත කිරීමට හෝ සංස්කෘතික, ආගමික ස්ථානයක් නැරඹීමට පමණක් සීමා නොකර මෙවැනි රෝහල් තුළ ප්‍රතිකාර සේවා ලබා දීම තුළින් සංචාරකයන් දීර්ඝ කාලයක් අඛණ්ඩව මෙරට තුළ රඳවා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර ගැනීමේ හැකියාව ද, ලැබෙන බව අවධාරණය කළේ ය.

එමෙන් ම මහජනතාවට හැකි උපරිමයෙන් සෞඛ්‍ය සේවා ලබාදීමටත්, පෞද්ගලිකව ලබාගන්නා ප්‍රතිකාර ජනතාවට දැරිය හැකි පහසු මිල ගණන් යටතේ සහ ගුණාත්මකභාවයකින් යුතුව ලබාදීමට රජය කටයුතු කරන බව ද, අමාත්‍යවරයා පැවසීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා, ආයුර්වේද ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගෙවුණූ කාලය පරිච්ඡේදය තුළ මණ්ඩල කිහිපයක් ම පත් කිරීමට කටයුතු කළ බවත්, එම මණ්ඩල වලට දේශීය වෛද්‍ය ක්‍රම නගා සිටුවීමට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහාත්, ආයුර්වේදය ප්‍රතිකාර සේවා, ඖෂධ නිෂ්පාදනය සහ ඖෂධ ගෙන්වීම වැනි සියලු කටයුතු නියාමනයක් කිරීමට වගකීම් පවරා ඇති බවත් එමෙන් ම සෑම අංශයකට ම නිශ්චිත ඉලක්ක ලබා දී ඇති බව ද සඳහන් කළේ ය.

මෙම සියලු වැඩසටහන් දියත් කිරීම තුළින් රජයේ අපේක්ෂාව වනුයේ පාරම්පරික දැනුම සහිතවවිශ්ව දැනුම ද, අත්පත් කර ගත් විද්‍යානූකූලව අධ්‍යන සිදු කරමින් පවත්වාගෙන යන උසස් දේශීය වෛද්‍ය ක්‍රමය නිසි තැනක ස්ථාපිත කිරීමත්, යම් නියාමනයන් තුළ ප්‍රතිකාර හා ඖෂධ සැපයීම් විධිමත් ව සිදු කරමින් උසස් සහ ගුණාත්මක ප්‍රතිකාර සේවා ජනතාවට සමීප කර වීම යැයි ද අමාත්‍යවරයා පැවසීය.

මෙහි දී, රෝහලේ කාර්ය මණ්ඩල සමග ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට ගත යුතු ඉදිරි පියවර පිළිබඳ ව ද අමාත්‍යවරයා දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර රෝහලට අත්‍යාවශ්‍ය බව ට පෙන්වා දෙන ලද ගිලන් රථයක් සහ අනුමත කාර්ය මණ්ඩලය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ද සඳහන් කළේ ය.

මෙම නිරීක්ෂණ චාරිකාවට සහ සාකච්ඡාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී.එස් අබේකෝන්, මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් ඩබ්.ඩි.සි වික්‍රමතිලක, මධයම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් සෞඛ්‍ය ලේකම් ජගත් අධිකාරි, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රුක්මල් මහතා ඇතුලු ආයුර්වේද රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT