ආචාරධර්ම යනු පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් අනුගමනය කළ යුතු චර්යා නීතිරීති සමූහයකි. එය පුද්ගල හැසිරීම් රටාව හෝ ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා බලපැවැත්වෙන සදාචාරසම්පන්න මූලධර්මයක් ද වේ. ‘ආචාරධර්ම යන වචනය පැමිණෙන්නේ චාරිත්‍රය, පුරුද්ද හෝ චරිතය යන අර්ථය ඇති ග්‍රීක ආචාරධර්මවලිනි,’ යනුවෙන් අර්ථකථනයක් ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ දක්නට ලැබේ.
මානවයා ශිෂ්ටාචාරගත දිවිපෙවෙතකට හුරු පුරුදු වූ දා පටන් කිසියම් ආචාරධර්මීය බැඳීමක් සහිත ජීවන රටාවකට යොමු වූ බව කියවේ. එය ගෝත්‍රික සමාජවල සිට පැවැති නොයෙකුත් ඇදහිලි, වත්පිළිවෙත් හා සාරධර්ම සමඟ බැඳුණු කාරණයකි. එනම්, ආචාරධර්මවලට මානව ඉතිහාසය තරම්ම දිගු ඉතිහාසයක් පවතී.
ආචාරධර්ම යන්නට යෙදෙන ඉංග්‍රීසි වචනය Ethics යන්නයි. එහි නිරුක්තිය සිදු වී ඇත්තේ Ethos යන ග්‍රීක වචනයෙනි. එහි තේරුම චරිතය යන්නයි. ආචාරධර්මය යනු පුද්ගල චරිතය හා බැඳුණු ක්‍රියාවලි සමූහයක් බව මේ අනුව පැහැදිලිය.
ඉහත න්‍යායාත්මක කාරණා සියල්ල සටහන් කරන්න හේතු වූයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අර්චුනා මන්ත්‍රීවරයාගේ හැසිරීම් පද්ධතිය හේතුවෙනි. සතියකට වරක් කිසියම් හෝ තැනක අර්බුදකාරී ක්‍රියාකාරකමක නිරත වී, ඒ පිළිබඳ ප්‍රසිද්ධිය ලබා ගැනීම ඔහුගේ චරිත ස්වභාවයයි. මෙරට බොහෝ ජනමාධ්‍ය ද විදත් හා මුද්‍රිත භේදයකින් තොරව එකී සිදුවීම් ඉහළ වටිනාකමකින් යුක්තව වාර්තා කරයි. ඔහු විසින් කරනු ලබන්නේ සමාජ අවධානය දිනා ගැනීමේ ක්‍රියාවලියක් බවත්, එහි කිසියම් සමාජ වටිනාකමක් නැති බවත් තේරුම් ගැනීමට මෙරට මාධ්‍ය අසමත් වීම කනගාටුවට කාරණයකි. සත්තකින්ම සිදු කළ යුතුව ඇත්තේ ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා උදවු උපකාර කිරීමයි; ඒ සඳහා යොමු කිරීමයි.
කෙසේ නමුත් මෙලෙසට සමාජ විරෝධී ලෙස හැසුරුණු එකම මන්ත්‍රීවරයා ඔහු පමණක් නොවේ. ඉකුත් පාලන කාලසීමාවන්හිදී පාර්ලිමේන්තුව නියෝජනය කළ බොහෝ මැති ඇමැතීන් තමන්ගේ සමාජ දේශපාලනික බලය උපයෝගි කොට ගෙන විවිධාකාර ‘පිස්සු නැටූ’ බව අපට සිහිපත් වෙයි. වරක් එක් දේශපාලන අම්බරුවකු ගුරුවරියක දණගැස්සූ ආකාරයත්, ඌව පළාතේ බඩ තඩි දේශපාලකයකු ගුරුවරියක ලවා තමාට වන්දවා ගත් ආකාරයත් අපට මතක ය. රාජ්‍ය නිලධාරීන් ගස් බැඳීමේ සිද්ධිය ගැන ද, පොලීසිවලට කඩාපැන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ පුටුවේ බලහත්කාරයෙන් ඉඳගැනීම් ගැන ද, කප්පම් ගැනීමේ සිද්ධි ගැන ද වාර්තාවලින් ලාංකික දේශපාලන ඉතිහාසය පිරී පවතී.
දිගින් දිගට ම මෙවැනි සමාජ විරෝධී ක්‍රියාවල නිරත වුණු දකුණේ එක්තරා මන්ත්‍රීවරයකුට උසාවි නියෝගයක් අනුව මානසික වාර්තාවක් ලබා ගැනීමට ද සිදු විය.
සත්තකින් ම මෙය බලය ලබා ගැනීමෙන් පසු ඇති වන මානසික රෝගි තත්ත්වයක් ද විය හැකි ය; බලය නිසා ඇති වන අසාමාන්‍ය මනෝ ස්වභාවයක් ද විය හැකි ය. මෙවැනි රෝගවලට ප්‍රතිකාර දේශීය හෝ බටහිර වෛද්‍ය විද්‍යාවේ නැති වුවත්, ජනතා පරමාධිපත්‍යය තුළ – එනම්: කතිරයේ බලය තුළ – ඇතැයි අපි අපේක්ෂා කරමු.
මීට ප්‍රධානතම හේතුව දේශපාලකයන් පිළිබඳ විධිමත් ආචාරධර්ම සංග්‍රහයක් නොවීම යැයි අපි කල්පනා කරමු.
ආචාරධර්ම මූලික වශයෙන් ආකාර දෙකකට බෙදා දැක්විය හැකි ය. පළමුවැන්න සමාජ ආචාරධර්ම (Social ethics) ය. දෙවැන්න වෘත්තීය ආචාරධර්ම (Professional ethics) ය. බොහෝ දේශපාලකයන් මෙකී ආචාරධර්ම අමුඅමුවේ උල්ලංඝනය කිරීම කනගාටුවට කරුණකි.
ලෝකයේ සෑම පිළිගත් වෘත්තියකට ම පොදු ආචාරධර්ම පද්ධතියක් අන්තර්ගත වේ. ඒ වෘත්තියේ නිරත වන්නා එකී ආචාරධර්ම පද්ධතිය අනුගමනය කිරීමට, ක්‍රියාත්මක කිරීමට අනිවාර්යයෙන්ම බැඳී සිටීමකට ලක් වේ. සෑම වෘත්තියකට ම ආචාරධර්ම තිබුණ ද, දේශපාලනයේ නිරත වන දේශපාලකයන්ට එවැනි ආචාරධර්ම පද්ධතියක් දක්නට නැත.
මෙවැනි පොදු ආචාරධර්ම පද්ධතියක් ගොඩනැඟීම සම්බන්ධයෙන් අවස්ථා කීපයකදී සාකච්ඡා කෙරුණත්, ඒවා සියල්ල සාකච්ඡාවට පමණක් සීමා වීම කනගාටුවට කාරණයකි. ගුරු වෘත්තිය, ජනමාධ්‍ය ක්ෂේත්‍රය, නීතිඥ වෘත්තිය, වෛද්‍ය වෘත්තිය යනාදී සෑම ක්ෂේත්‍රයකට ම ආචාරධර්ම පද්ධති තිබුණ ද, දේශපාලකයන්ට ආචාරධර්ම පද්ධතියක් නොවීම බරපතළ තත්ත්වයකි.
විනයගරුක සහ ආදර්ශවත් පාර්ලිමේන්තුවක් බිහි කිරීම වෙනුවෙන් මන්ත්‍රීවරුන් සඳහා ආචාරධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කළ යුතුව ඇති බව මීට පෙර අවස්ථා කිහිපයක ම පාර්ලිමේන්තුව හමුවේ යෝජනා වී තිබේ. එලෙස යෝජනා කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යාධර්ම සංග්‍රහයක් 2018 මාර්තු 7 දින අනුමත කරන ලද අතර, ඒ වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනා කරනු ලැබුවත් එය ක්‍රියාත්මක වීම දිනෙන් දින කල් ගත වී තිබේ. එය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම නිකුත් කොට, අන්තර්ජාලයට ද ඇතුළත් කොට ඇත.
මේ පිළිබඳව ආචාරධර්ම වරප්‍රසාද පිළිබඳ කාරක සභාවක් ද පත් කොට තිබේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ මේ කාරක සභාව අහෝසි වී ඇති බවයි.
එසේ නම් මන්ත්‍රීවරුන්ගේ ආචාරධර්ම පද්ධතිය පිළිබඳ නිශ්චිතව ක්‍රියාත්මක වීම දිනෙන් දින කල් යන බවක් මේ අනුව හැඟී යයි. එය ඉතා ඉක්මනින් සකස් කළ යුතුව ඇත්තකි.
නීති සකස් කරන ආයතනයේ – එනම්: උත්තරීතර ආයතනයක් වන ව්‍යවස්ථාදායකයේ – විධිමත් ආචාරධර්ම පද්ධතියක් සකස් විය යුතු ම ය. සමාජයේ ඉහළ ස්තරයේ විනය සකස් නොකොට පහළ ස්තරයේ විනය සකස් කිරීමට යෑම ගැටලුසහගත වන්නේ එබැවිනි.
මෙය පොදු සාමූහික වගකීමක් සහ කාලීන සමාජ අවශ්‍යතාවක් ලෙස ක්‍රියාවට නැංවිය යුතු කාරණයකි. එවිට තැන තැන පිස්සු නටන ජනතා නියෝජිතයන්ගේ හැසිරීම් ප්‍රවෘත්තිවලට එහා ගිය අර්ථයකින් වටහා ගැනීමට මෙරට ජනමාධ්‍ය සහ ජන සමාජය සමත් වනු ඇත.
ආචාරධර්ම පිළිබඳව විලියම් ලයිලි නමැති සමාජ විශේෂඥයා දී ඇති අර්ථකථනයකින් මේ සටහන හමාර කිරීමට කැමැත්තෙමු:
“ආචාර ධර්මය යනු මිනිසුන් ජීවත් වන කුඩා වූත් විශාල වූත් සමාජයන්හි හැසිරීම් පද්ධතිය නිගමනය කරන විද්‍යාවකි. එමඟින් හොඳ හෝ නරක මෙන් ම නිරවද්‍යතාව හෝ සාවද්‍යතාව යනාදි සාධක පිළිබඳ විනිශ්චයක් දෙනු ලැබේ.”