දෛවයේ සරදමකට මෙන් පශ්චාත් දෙවැනි ලෝක සංග්‍රාම අවධියේ ගෝලීය ආර්ථික ප්‍රකෘතිකරණය, වෙළෙඳ බාධක අවම කිරීම සහ අන්තර්ජාතික සහයෝගය ගොඩනඟමින් බහුධ්‍රැවවාදී ගෝලීය වෙළෙඳ පර්යායක් ගොඩනැඟීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.
විදේශීය තරගකාරීත්වයෙන් ස්වදේශීය නිෂ්පාදන ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ආනයනික භාණ්ඩ මත බද්දක් පැනවීම ලොව පුරා බොහෝ ජාතීන් දිගු කලක් මුළුල්ලේ අනුගමනය කළ ප්‍රතිපත්තියක් විය. ආනයනික බදු රට රටවල් අතර වෙළෙඳාම හීන කොට, පාරිභෝගිකයන්ට භාණ්ඩ සඳහා අතිරේක පිරිවැයක් ගෙවීමට සලස්වමින්, විදේශයන්ගෙන් ඊට පිළිතුරු ක්‍රියාමාර්ග පැමිණීමේ අවදානමක් උද්ගත කරන බව වටහා ගැනීමත් සමඟ දෙවන ලෝක සංග්‍රාමයෙන් අනතුරුව බොහෝ රටවල් එම පුරුද්දෙන් බැහැර වීමට ක්‍රියා කළේ ය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය පළමු ධුර කාලයේදී මේ ආර්ථික සම්ප්‍රදායෙන් බැහැර වෙමින් චීනයෙන් සහ සෙසු රටවලින් ආනයනය කෙරෙන ඩොලර් බිලියන ගණනක් වටිනා භාණ්ඩ සඳහා බදු පැනවීමට උත්සුක විය. අසාධාරණ යැයි තමන්ට හැඟෙන වෙළෙඳ පුරුදු පිටුදැකීම, අමෙරිකානු වෙළෙඳ ශේෂය අවම කර ගැනීම සහ ජාතික ආරක්ෂාවේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික තරගකාරීත්වයේ නාමයෙන් දේශීය කර්මාන්ත නඟාසිටුවීම එහි ප්‍රකාශිත අරමුණ විය.
ට්‍රම්ප්ගේ තර්ක
තම දෙවැනි ධුර කාලයේදී, ට්‍රම්ප් නැවතත් තම ආනයනික බදු තුරුම්පුව තවදුරටත් පෘථුල ලෙස යොදා ගැනීමට කටයුතු කරමින් සිටී. ඒ අනුව කැනඩාව සහ මෙක්සිකෝව සිය සංක්‍රමණික සහ මත්ද්‍රව්‍ය ජවාරම් පිටුදැකීමට අදාළ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද ඩෙන්මාර්කය තම රටේ කොටසක් වන ග්‍රීන්ලන්තය අමෙරිකා එක්සත් ජනපදයට පවරා නොදීම සම්බන්ධයෙන් ද චීනය වෙළෙඳ පරතරය පිළිබඳ අර්බුද මුල් කර ගනිමින් ද වොෂින්ටනයේ ආනයනික බදු තර්ජනයට මුහුණ පා සිටී.
ආනයනික බදු පැනවීම සාධාරණීකරණය කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනය ඉදිරිපත් කරන තර්කය බහුමාන ය. වෙළෙද අසමතුලිතතාව පිටුදැකීම, දේශීය ව්‍යාපාර ආරක්ෂා කර ගැනීම සහ සෙසු රටවල අසාධාරණ වෙළෙඳ පුරුදු පිටුදැකීම එහි ප්‍රකාශිත අරමුණු අතර වේ. උදාහරණයක් ලෙස චීනය සමඟ වෙළෙඳ පරතරය පියවා ගැනීම ආනයනික බදු පැනවීමට උත්සුකයක් ලෙස වොෂින්ටනය ගෙනහැර දක්වයි. 2022 වසරේදී දෙරට අතර වෙළෙඳ පරතරයේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 382.9 කි. දෙරට අතර තරග පිටිය සම බිමක් බවට පත් කළ යුතු බව වොෂින්ටනය අවධාරණය කරයි.
ඒ කෙසේ වෙතත්, ආනයනික බදු එකී අරමුණු ඉටු කර ගැනීම සඳහා කෙතෙක් දුරට සමත් වේ ද යන්න සැක සහිත ය. ආනයනික බදු ඉහළ නැංවීමට පිළිතුරු වශයෙන් සෙසු පාර්ශ්වය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග වෙළෙඳ යුද්ධ උද්ගත කොට අදාළ සියලු පාර්ශ්වයන්ට පීඩා එල්ල කරන බවට ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. 1930 දශකයේ අමෙරිකා එක්සත් ජනපදයේ ස්මූට්-හෝව්ලේ පනත මීට නිදසුනකි.
2018-2019 චීන-අමෙරිකා වෙළෙඳ යුද්ධය ද තවත් උදාහරණයකි. ඩොලර් බිලියන ගණනක් වටිනා චීන භාණ්ඩ සඳහා අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද ආනයනික බදුවලට පිළිතුරු වශයෙන් බෙයිජිං පාලනය ද වොෂින්ටනයට එරෙහිව එකට එක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතය දළ වශයෙන් 0.3% කින් පමණ අඩු විය. මෙය ඩොලර් බිලියන 62 කට සමාන පාඩුවකි. තවද එම වෙළෙඳ යුද්ධයෙන් අමෙරිකානු සමාගම්වලට ඩොලර් ට්‍රිලියන 1.7 ක වටිනාකමින් යුතු කොටස් වෙළෙඳපොළ වටිනාකම් අහිමිවූ අතර, රැකියා 300,000 ක් පමණ අහිමි වූ බව විශ්ලේෂණ මඟින් අනාවරණය වී තිබේ.
එදිරිවාදිකම්
දෛවයේ සරදමකට මෙන් පශ්චාත් දෙවැනි ලෝක සංග්‍රාම අවධියේ ගෝලීය ආර්ථික ප්‍රකෘතිකරණය, වෙළෙඳ බාධක අවම කිරීම සහ අන්තර්ජාතික සහයෝගය ගොඩනඟමින් බහුධ්‍රැවවාදී ගෝලීය වෙළෙඳ පර්යායක් ගොඩනැඟීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ගැට් සහ එහි අනුප්‍රාප්තිකයා වන ලෝක වෙළෙඳ සංවිධානය බිහිවීම දක්වා විකාශනය වූයේ වොෂින්ටනය විසින් නායකත්වය දුන් මේ අන්තර්ජාතික වෙළෙඳ පද්ධතියයි. විශේෂයෙන්ම, ලෝක වෙළෙඳ සංවිධාන පද්ධතිය තුළ වෙළෙඳ ආරවුල් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමේ ක්‍රමවේදයන් පවතී. ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලයේදී එම ලෝක වෙළෙඳ පර්යායේ කුලුනු එකින් එක බිඳ දමමින් තිබේ.
රීතීන් මත පදනම් වූ ලෝක පර්යායේ මුරදේවතාවා ලෙස පෙනී සිටි අමෙරිකා එක්සත් ජනපදය අන්තර්ජාතික සහයෝගිතාවයෙන් සහ බහුධ්‍රැවවාදයෙන් බැහැරට යමින් සිටියදී ලොව දෙවැනි විශාලතම ආර්ථිකය ලෙස චීනය ගෝලීය වෙළෙඳාම සහ ගෝලීයකරණයේ ආරක්ෂකයා ලෙස ඉදිරියට පැමිණෙමින් සිටී. ඒ සමඟ බහුධ්‍රැවවාදීත්වය පදනම් කර ගත් නව ලෝක පර්යායක් පිළිබඳ කථිකාවත වඩාත් පුළුල් වෙමින් පවතී. අභිනවයෙන් ගොඩනැඟෙමින් පවතින මේ ලෝක පර්යාය තුළ කැපීපෙනෙන ලක්ෂණ කිහිපයකි. ඒ මෙසේය.
ප්‍රවණතා
1. නව ක්‍රියාකරුවන් ඉදිරියට පැමිණීම: අදින් වසර 25 කට පමණ පෙර ලෝක ආර්ථික පෙළගැස්මේ ප්‍රධාන රටවල් 10න් අටක්ම වොෂින්ටනයට හිතවත් රටවල්වලින් සමන්විත විය. එහෙත්, දැන් ලොව ප්‍රධානතම ආර්ථික 10 අතරට චීනය, ඉන්දියාව සහ බ්‍රසීලය යන රටවල් පැමිණ තිබේ. ඉන්දුනීසියාව ද ප්‍රධාන රටවල් 10 න් එකක් බවට ඉදිරියට පැමිණෙමින් සිටී.
2. නව ක්‍රියාකරුවන් අතර සන්ධාන ගොඩනැඟීම: බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල මූලිකත්වයෙන් යුත් ‘බ්‍රික්ස්’ සන්ධානය තුළට ලොව විවිධ කලාපවලින් රටවල් එක්වෙමින් සිටී. ඉන්දුනීසියාව නව සාමාජිකයෙකු ලෙසත්, නයිජීරියාව පාර්ශ්වකරුවෙකු ලෙසත් එම සන්ධානයට එක්වීමත් සමඟ නව වසරේ බ්‍රික්ස් වැඩපිළිවෙළ මූලෝපායික වශයෙන් සිය ප්‍රසාරණය අඛණ්ඩවම ඉදිරියට ගෙනයමින් තිබේ. බ්‍රික්ස් රටවල් දැන් ගෝලීය ආර්ථිකයෙන් 46% ක සහ ලෝක ජනගහනයෙන් 55% කට දායකත්වය දක්වයි.
විශේෂයෙන්ම, ඔවුන් ගෝලීය දකුණේ රටවල් සමඟ සිය ආර්ථික සබඳතා වඩ වඩාත් ශක්තිමත් කර ගනිමින් සිටී. රටවල් 15 කින් සමන්විත කලාපීය වරණ ආර්ථික පාර්ශ්විකත්වය (Regional Comprehensive Economic Partnership) සමඟ චීනය එක්වීමත් සමඟ ඉතිහාසයේ ලොව විශාලතම නිදහස් වෙළෙඳ සන්ධානය බිහිවිය. ලෝක ජනගහනයෙන් 30% ක් නියෝජනය කෙරෙන මේ එකඟතාව ලොව දළ දේශීය නිෂ්පාදිතයෙන් 30%ක් නියෝජනය කරයි.
තවද චීන ජනාධිපති ෂී ජින් පිංගේ සංකල්පයකට අනුව 2013 වසරේදී දියත් කෙරුණු ‘එක තීරයක් – එක මාවතක්’ වැඩපිළිවෙළ සමඟ ලොව පුරා රටවල් 140 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විටත් අත්වැල් බැඳගෙන සිටී.
3. නව මූල්‍ය පර්යායයක් ගොඩනැඟීම: නව ක්‍රියාකරුවන් සහ නව සන්ධාන ව්‍යුහයක් සමඟ ගෝලීය දකුණේ රටවල් ප්‍රධාන කොටගත් නව මූල්‍ය පර්යායක් ද ගොඩනැඟෙමින් පවතී. බ්‍රික්ස් නව සංවර්ධන බැංකුව සහ සේද මාවත අරමුදල ඒ අතර ප්‍රධාන තැනක් ගනී.
4. ලොව පවත්නා ආයතන ව්‍යුහය දෙදරා යෑම හෝ ප්‍රතිසංස්කරණයට ලක් කිරීම: අමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමත්, අන්තර්ජාතික අපරාධ අධිකරණයට සම්බාධක පැනවීමත් මෙහිලා සංකේතාත්මක වැදගත්කමක් දක්වයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ප්‍රතිසංස්කරණය කළ යුතු බවට ලොව නන්දෙසින් හඬක් නැඟෙමින් පවතී. තවද ගෝලීය දකුණේ රටවල හඬට ද කන් දෙන නව ලෝක නීති පර්යායක අවශ්‍යතාව ද නීති විශාරදයෝ අවධාරණය කරති.
විජය දිසානායක