ලාංකේය රොක් සංගීතයේ පුරෝගාමියකු වූ සංගීතවේදී අජිත් කුමාරසිරි ප්‍රමුඛ අර්ජුමාන් ඩිසේරම්, නාමිණී පංචලා, එක්ව පවත්වනු ලබන වැලන්ටයින් දින සංගීත ප්‍රසංගය හා සංවාදය අද (14) පොල්පිතිගම Eco අපේ Cope ගොවිපළේදී සහ හෙට (15) නිකවැව පාසලේදී සවස 6ට පැවැත්වෙයි. “අල්ලන් සෙල්ලම්” ප්‍රසංගයට සමගාමීව “ගමේ අය පුනරුදයට ආදරේද?”යන මැයෙන් සංගීත ශිල්පීන්ගේ හා විද්වතුන්ගේ දායකත්වයෙන් සංවාදශීලි සාකච්ඡාවක්ද පැවැත්වෙයි. මේ අවස්ථාව නොමිලේ සියලුදෙනා සඳහා විවෘතය.)
වැලන්ටයින් බටහිර පූජකවරයෙකු වුවද, ආදරයට පෙරදිග-බටහිර, දුප්පත් – පොහොසත්, ග්‍රාමීය-නාගරික භේදයක් නැත. එහෙත් ආදරයේ ව්‍යුහගතවීම්, එහි ප්‍රකාශන මාදිලින්, ආකල්ප හා සංස්කෘතික ලෝකය එකිනෙකාට වෙනස්කම් දක්වන බැව් සැබවි. ඇලෙන් බදියුගේ “ප්‍රේමය පසසනු වස්” කෘතියේ මෙසේ දැක්වෙයි. “ප්‍රේමය යනු හුදෙක් දෙදෙනෙක් හමුවීම සහ ඔවුන්ගේ ඇතුළට නැමුණු සම්බන්ධතාව පිළිබඳ වූවක් නොවෙයි. එය ගොඩනැංවීමක්.”(35 වන පිටුව) එබැවින් මෙම ආදරයේ ගොඩනැංවීම සංස්කෘතික දේශපාලන කලාපයට අයත් ය. “අල්ලන් සෙල්ලම්” ප්‍රසංගය ආදරවන්තයින්ගේ දිනයට නව අරුතක් එක් කරන බැව් කිව හැක්කේ ඉහත සංදර්භය යටතේ ය.
මේ පිළිබඳව ප්‍රසංගයට ගායනයෙන් හා වාදනයෙන් එක්වන නාමිණී පංචලා මෙසේ පවසයි.
“වැලන්ටයින් දිනය ටාගට් කරලයි අපි මේ ප්‍රසංගය කරන්නෙ. හිස් වචනවලින් ආදරය ප්‍රකාශ කරනවාට වඩා සමාජ යථාර්ථය ගැන කතා කරලා ඇත්ත ආදරය පෙන්නන එක තමයි වැඩේ. ආදරය ඇත්ත පොළොවක ස්ථානගත වෙන්න ඕන. ඒ නිසා ඒ වගේ සමාජ යථාර්ථය පෙන්වන, මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න එක්ක ගැටෙන සින්දු කියලා, අපි මේ වැඩේ පටන් ගන්නවා. පොල්පිතිගම වගේ ගමකින් පටන් ගන්නෙත් ඒකයි. ඒක අභියෝගයක්. අපි මේ ප්‍රසංගයම නොවුණත්, මීට පෙරාතුව අරගලය අවස්ථාවෙදි මෙන්ම විවිධ අවස්ථාවන්වල ගීත ගායනා කරපු, ප්‍රසංග කරපු අය. ඒත් ඒ තැන්වල ප්‍රේක්ෂකාගාරය ගැන අවබෝධයක් අපට කලින්ම තිබුණා. නමුත් මෙවර වෙනත් සංදර්භයක තමා මේ සින්දු ටික අතාරින්නෙ. ඒකට බය වෙන්න ඕන නෑ. ඒත් මේක අභියෝගයක්. යම් බලාපොරොත්තුවක් අපට තියෙනවා. එයාලටයි අපටයි ලොකු වෙනසක් නැතිව එක තැනකට එන්න පුළුවන් වෙයි කියලා හිතනවා. එයාලට අහන් ඉන්න, සංවාද කරන්න, සම්බන්ධ වෙන්න ශක්තියක් තිබිය යුතුවා මෙන්ම මේක ප්‍රකාශ කරන්න මටත් ශක්තියක් තියෙන්න ඕන.”
ශ්‍රී ලාංකේය සංගීතයට රොක් සංගීතය මුසු කිරීම සඳහා පුරෝගාමි මෙහෙවරක් කළ සංගීතවේදී අජිත් කුමාරසිරි යනු 80-90 දශකවල සිටම විකල්ප ධාරාවේ කලාවක් වෙනුවෙන් උඩුගං බලා පිහිනූ චරිතයකි. ‘‘හැප්පිලා බලමුදැයි” නොඅසන ඔහු “තොල් පෙති ගාවල බලමුදැයි”අසයි. පාර්ලිෙම්න්තුව දූෂිතයින්ගේත්, අපරාධකරුවන්ගේත්, විගඩම්කාරයින්ගේත් තෝතැන්නක්ව පැවති යුගයේදී ඔහු එහි සිටියවුන් සුනඛයින් යයි නොකියයි. ඒ වෙනුවට “පාර්ලිමේන්තුව ඇතුළට සඳ පායනවා. සඳ එළියට පිස්සු හැදිල බල්ලො බුරනවා” යයි ගායනා කරයි. ඉතින් “අල්ලන් සෙල්ලම්” ප්‍රසංගය ගැන ඔහු පවසන්නෙ මෙවැන්නකි.
“මේ වෙලාවෙ ප්‍රධාන ධාරාවේ සංගීතයට වඩා විකල්ප ධාරාව ඉදිරියට පැමිණිය යුතුයි කියලා මං හිතනවා. ප්‍රධාන ධාරාව පමණක් ඉහළට එසවෙලා. ඒත් ඒකෙන් විතරක් සමාජයකට දුවන්න බෑ. ලංකාවේ ප්‍රධාන ධාරාවේ සංගීතය කියන්නේම අවුලක්. ගමෙන් පටන් අරන් කොළඹට එන්නයි අපේ අදහස. මේ ප්‍රසංග මාලාව තුළ අපි භාෂා කීපයකින් ගීත ගායනා කරනවා. කොයි වෙලාවෙත් ලංකාවේ ප්‍රධාන ධාරාවෙ සංගීතය හිරවෙලා තිබුණේ, පොදුවේ වැඩිපුරම ශෘංගාර කලාපය ආමන්ත්‍රණය කරමින්. ලෝකෙත් එහෙම තමා. ශෘංගාරය කියන්නෙ දේශපාලනයෙදි තියෙන ලොකුම තුරුම්පුවක්. හැබැයි ඒක පාවිච්චි වෙන්නෙත් සදාචාර කෝණයකට යටත්වයි. ඒත් ඒකත් පාලකයින් විසින් පාලනය කරන්නේ ජාතික රාජ්‍යයේ සීමාවට යටත්වයි. ආර්ථිකයට සියල්ල ඌනනය කරන බවක් පේනවා. එතනදි ‘සංස්කෘතික මිනිසා’ කියන එකට තියෙන්නෙ අඩු වටිනාකමක්. ඒකෙන් වෙන්නේ දෙකම අසාර්ථක වෙන එකයි. විවේකය සහිත මනා කල්පනාවෙන්, අවබෝධයෙන්, වඩා ගෞරාවාන්විතව ජීවත්විය හැකි, වඩා දියුණු, දේවල් තේරුම් බේරුම් ගත හැකි සංස්කෘතික මිනිසෙක් නැතිව ආර්ථිකය උඩට ගන්න බෑ. ඒ මිනිසාට පමණයි ආර්ථික අවකාශය දියුණු කළ හැක්කෙ. එහෙම නැත්නම් වෙන්නේ සේවකයින් වගේ අවම සංස්කෘතික තත්ත්වයට ඇදල දාපු වහල්ලු වගේ වහල් සේවයක් පවත්වාගෙන යාමයි. ඒකෙන් ආර්ථිකය දියුණු කළ හැකි මට්ටම අවමයි. එතනදි පුරවැසියා තනිකරම වහල්ලු බවට පත්වෙනවා. පුරවැසියා සංස්කෘතික වුණොත්, සහයෝගිතාවයෙන් යුතුව ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැඟිය හැකියි. සංගීතය එතනදි ‘උරුම කළමනාකරණය විෂය තුළ සිදුවිය යුතුයි. උරුම කළමනාකරණය කරද්දි විකල්පය අයිතිවන්නේ ‘අධිකාරිමය උරුම කතිකාවට (Authorized Heritage Discourse) නෙවෙයි. ඒක අයිතිවෙන්නේ අධිකාරිමය නොවන කතිකාව (Un authorized Heritage Discourse) ටයි. මේ දෙක සම්මිශ්‍රණව එකට ගෙනියන්නෙ කොහොමද? මේක රටක් නම් කොහොමද ඉදිරියට යන්න ඕන කියන එක හිතන්න ඕන. මගේ ගමන් මඟ ගැන මං පොසිටිව්. විශාල වශයෙන් අනාගතයේදි ලංකාව ඇතුළෙ මේ කතිකාව වැඩකරයි. යම් යම් ප්‍රතිවිරෝධතා මැද වුවත්, අද බොහෝ දෙනා මේ UHD කලාපයට එමින් ඉන්නවා.”
‘‘කොඩිගහ යට”ටෙලියෙන් ‘කනත්ත පාර’ගීතයෙන් වඩාත් ජනප්‍රිය වූ අර්ජුමාන් ඩිසේරම් මෙම ප්‍රසංගයට එක්වන තවත් ගායන ශිල්පියෙක් හා වාද්‍ය ශිල්පියෙක්. ඔහු පවසන්නේ මෙවැනි අදහසක්.
“මමත් නියෝජනය කරන්නේ ප්‍රාදේශීය හෝ විකල්ප සංගීතයක්. ඒක තනිකරම විකල්පයක් නෙවෙයි. විකල්ප ධාරාවේ වුණත් මිනිසුන්ට ළඟයි. විකල්ප කීවම මිනිසුන්ගෙන් ඈත්වෙන්න බලනවා. විවිධ අවකාශවල මගෙ ‘කනත්ත පාර’ සින්දුවත් බොහෝ පිරිසක් ආදරයෙන් වැලඳ ගත්තා. ඒක වාණිජකරණය කරන්න බැරි කමක් නෑ. ඒත් දැනට යන වාණිජ රැල්ලට දුවන්න මගෙ කැමැත්තක් නෑ. මට ඒක දිරවන්නෙ නෑ. ඒත් විකල්පය තුළ ආර්ථිකය යම් පමණකට බේරාගන්න උත්සාහයක් තියෙනවා. විකල්ප ධාරාවෙ සංගීතය මිනිසුන්ට ළඟ වුණේ නෑ. ඊට වඩා ගොඩක් කල් සිට ප්‍රාදේශීයව විකල්පව සංගීතය තිබුණු බව අපට පිළිගන්න වෙනවා. දැනට අපට තියෙන කර්මාන්තය සුනිල් පෙරේරාගෙන් පටන් ගත්තු එකක්. ඒක මහපොළොවත් එක්කම බැඳුණු එකක් නෙවෙයි. ඒත් අපේ සංගීත සම්ප්‍රදාය මහපොළොවට කිට්ටුයි. මිනිසුන්ට ළඟ නිසා මාර්කට් එකක් හැදෙන්න පුළුවන්. ” හෙතෙම අවධාරණය කරයි.
කාල් මාක්ස් වරෙක ලේඛකයින් ගැන අදහස් දක්වමින් කීවේ ‘ලේඛකයා ලිවීම සඳහා යම් වැටුපක් ලැබිය යුතුයි. නමුත් ඔහු මුදල් හම්බ කිරීම සඳහාම ලිවීම හෝ ජීවත්වීම නොකළ යුතුයි’ කියා ය. සංගීතඥයාද එසේ වීමෙන් ලාභ ඉපැයීමම වෙනුවට වඩා දියුණු සංස්කෘතික මිනිසකු ගොඩනැඟිය හැකිවනු ඇත. එය අද දවසේ අප දකින සිහිනයකි.
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර