විජය සිනමා ලෝලියකු වන වීරසිරි අධිකාරි මහතාගේ අර්ථපතීත්වයෙන් පෙබරවාරි 16 වැනි දින මිනුවන්ගොඩ ගල්ලොලුවේදී (විජය සිනමා) නමින් සිනමා ශාලාවක් විවෘත කිරීමට කටයුතු සූදානම්ය. මෙය විජය කුමාරතුංගයන්ගේ 37 වැනි ගුණ සැමරුමට සමගාමීව සිදු කෙරේ. මෙය ඒ නිමිත්තෙනි.
මෙහි V. V.I.P ආසන 30ක්ද, සාමාන්‍ය ආසන 186, සම ආසන 216ක් සහ Dolby7.1 sound system සහිතය. එසේම දැනට ලංකාවේ පවතින දෙවැනි 2k projector සමඟ සිල්වර් ස්ක්‍රීන් තිරයක් මෙම සිනමා අංගණයේ වෙයි.
වීරසිරි අධිකාරි මහතා යනු කවරෙක්දැයි යන්නට නම්, ඔහුගේ ජීවිත චාරිකාව ගැන මෙසේ දක්වමු. ඒ කෙසේද යත්, ග්‍රීක මහා කවි හෝමර්ගේ ‘ඔඩිසි’ වගේ ඔහු ළඟ විච්චූර්ණ නැත. හේ ඉතාම සරලය. ඔහු සමීපයට එන සහෘද ප්‍රේක්ෂකයා වසඟයට ගන්නා සුළුය. ඔහුගේ කට වහරත් ප්රකාශනයත් ඔහුටම ආවේණික සමාජ පිළිවෙත් නිසා ඔහු කරා ඇදී එන පිරිසද දිනෙන් දින වැඩි වේ. මව සහ සහෝදරියන් දෙදෙනා සමඟ පළමු වතාවට ගම්පහ ජයන්තා පබ්ලික් හෝල් සිනමා ශාලාවේ රෑන ගිරවි, සිනමා පටය නැරඹීම කිසිදා අමතක නොවන සිදුවීමකි. එතැන් පටන් සිනමා පටයක අභ්‍යන්තර ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද කියා සොයා බැලීමට ඔහු යුහුසුළු වූයේය. ඔහු කඳුළු මිටියාවත් සිනා නිම්න, සිහින කලාප ඔස්සේ කළ ජීවන චාරිකාව වීර ජීවන චාරිකාවක් බඳුය.
රස්සාවක් නැතිනම් කුමක් හෝ කරනවා යනුවෙන් ඇතැමෙකු අවඥාසහගත ප්‍රකාශ ඉදිරිපත් කළත් ඒ වෙනුවට අධිකාරී අධිෂ්ඨානයට ගිලිහෙන්න ඉඩ දුන්නේ නැත. කටුකොහොල් බාධක පෙරළාගෙන ඉදිරියටම ගියේය. ඒ වීර ජීවිත චාරිකාවේදී ඔහුට විවිධාකාර මිනිස්සුන් මුණ ගැසුණේය. ඒ අතර සමහර පඬිවරු, ගුරුවරු. මුනිවරු වැනි මිනිසුන් වූහ. ඒ අතර මුනිවරයෙකුටත් වැඩියි දෙවිවරයෙක් වගේ මිනිසකු ලෙස විජය ඔහු හැඳින් වූයේය. අදටත් ඔහුගේ සිත තුළ පැළපදියම් වී සිටින එකම දෙවිවරයාත් මුනිවරයාත් විජය කුමාරතුංගයන්ය. විවිධ තරාතිරම්වල පුද්ගලයන්ගේ නම් අතර මානව හිතවාදියෙකු සිටියා නම් ඒ වෙන කවුරුත් නොවේ විජය කුමාරතුංගයන්මය.
ඔහු පාසල් වියේදී පටන්ම දැඩි සිනමා ලෝලියකු වූයේය. ඒ චාරිකාවේ එක්තරා කලාපයක ඔහුගේ සමීපතම අත්දැකීම් නිර්ලෝභීව ප්‍රේක්ෂකයා සමඟ බෙදා ගන්නට තිබෙන ඒකායන ප්‍රාර්ථනය වූයේ කවදාක හෝ විජය නමින් සිනමා ශාලාවක් ස්ථාපිත කිරීමය.
එය අද ඉටු කරන්නට ඔහුට හැකි වී ඇත. එළඹෙන 16 වැනි දිනට විජය වියෝ වී වසර 37ක් ගතව ඇති මොහොතේ විජය සිනමා ශාලාව ප්‍රේක්ෂකයන්ට තිළිණ කිරීමට සමත්ව ඇත. මෙතෙක් ඉදි වූ කිසිදු සිනමා මණ්ඩලයකට හෝ තනි අයිතිකරුවකුට හෝ ශාලාවකට විජයගේ නමින් සිනමා ශාලාවක් යොදන්නට හැකි වී නැත. මෙය මියගිය කලාකරුවකු වෙනුවෙන් මෙරට නම් කරන පළමු සිනමා හලය.
වීරසිරි අධිකාරි වැනි සිනමා ලෝලියකු විසින් විජය වැනි ප්‍රතිභාපූර්ණ සිනමාවේදියෙකුට කරනු ලබන මේ ගෞරවය සදා අනුස්මරණීය ය. මෙය මිලියන ගණනක් තම ධන පරිත්‍යාගයෙන් කොළඹ නගරයෙන් ඔබ්බට ග්‍රාමීය ප්‍රදේශයක ඉදි කළ අති සුඛෝපභෝගී අංගසම්පූර්ණ සිනමා ශාලාවකි.
ඔහු විජය නමින් සිතුවම් රාශියක් නිර්මාණය කළේය. විජයගේ පුවත්පත්වල පළ වූ සේයාරූ සුරක්ෂිතව ආරක්ෂා කළේය. ඔහුගේ සිනමා පෝස්ටර්, සිනමාපට ඔහු නැරඹූ වාර සංඛ්‍යාව කියා නිම කළ නොහැකිය. ඔහු විජය රසකාමියකු පමණක් නොව විවිධ කලා අංශයන් කෙරෙහි ළබැඳි බැඳීමක් ඇතිව ප්‍රේක්ෂකයා රසකාමිකයකු ද විය. නව ආරකට සිනමාව රස විඳීමට ඉඩ සැලසෙන පුරෝගාමී නිර්මාණකරුවෙකි. සැමටම වඩා මිනිස්කමින් පිරිපුන් මිනිසෙකි.
අද 14 වැනිදා සිට දින පහක් එක් දර්ශන වාරයක් ‘මහ රජ ගැමුණු’ චිත්‍රපටය තම සේවකයන්ට, ගම්වාසීන්ට සහ හිතවතුන්ට නොමිලේ නැරඹීමට ඔහු සලසා දී තිබේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ රිද්ම මණ්ඩලයේ සිනමා ශාලාවක් බවට ස්ථාපිත මෙම විජය සිනමා ශාලාවේ ප්‍රේක්ෂකයෙකුගේ ප්‍රවේශ පත්‍රය රුපියල් 1000 සිට 800 දක්වා මිලකට අලෙවි කරනු ඇත. එය අනිත් සිනමා ශාලා සමඟ ගත් විට සහනදායී ප්‍රවේශ පත්‍රයක් වේ. කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් තොරව මෙම සිනමා ශාලාව ප්‍රේක්ෂකයාට දායාද කරන වීරසිරි අධිකාරි ප්‍රේක්ෂකයාට සිනමා පටයක් නැරඹීමේ දී තිබිය යුතු සියලු පහසුකම් සපයා තිබීම විශේෂත්වයකි.
සංස්කරණය ශ්‍යාමා සමරසිංහ
ඡායාරූප හා සටහන නිශ්ශංක විජේරත්න