මෙය ගුරු ගීතය සිනමාපටයේ අල්තිනායි චරිතයට පණ පෙවූ කල්පණී ජයසිංහ රංගන ශිල්පිනිය සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි.
ඔබ සිනමාවට ආවෙ කොහොමද ?
මම 2011 යොවුන් සම්මාන නාට්‍ය උලෙළේ කෙටි නාට්‍ය අංශයේ නාට්‍ය දෙකකට සම්බන්ධ වුණා. එකක් තමයි රියැලිටි නාට්‍ය, අනිත් නාට්‍ය තමයි කොයින් නාට්‍ය. රියැලිටි නාට්‍ය නෙරංජන් චන්ද්‍රාදිත්‍යගේ, කොයින් කෙටි නාට්‍ය මලිත් සුදන්තගේ. මේ දෙකම එකම නාට්‍ය උලෙළේ කෙටි නාට්‍ය නියෝජනය කරපු නාට්‍ය දෙකක්.
එතකොට මේ යොවුන් සම්මාන නාට්‍ය උලෙළෙදී 2011 රියැලිටි නාට්‍යයේ චේතනා චරිතය වෙනුවෙන් මාව හොඳම නිළිය විදිහට නිර්දේශ වෙනවා. නමුත් හොඳම නිළිය නිර්දේශ වුණාට හොඳම නිළිය ලැබෙන්නෙ නෑ මට. නමුත් ජූරියේ විශේෂ කුසලතා සම්මානයක් හිමි වෙනවා. එතකොට ඒ කාලෙදිම මහරගම ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලේ ඉගෙන ගන්නවා. ඒ කාලෙ ඩිප්ලෝමා එකක් තිබුණා. ඒක හදාරමින් ඉන්න කාලේ උපාලි ගම්ලත් මහත්මයත් ජාතික තරුණ සේවා සභාවෙ තමයි වැඩ කරන්නේ.
එතුමාගේ සිනමාව සම්බන්ධයෙන් තිබුණු වැඩමුළුවලට මම සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි කලින් කියපු නාට්‍ය උෙලළේ රියැලිටි නාට්‍යයෙන් හා කොයින් නාට්‍යයෙන් මම කරපු රංගනයන් දැකලා තමයි උපාලි ගම්ලත් මහත්මයා තීරණය කරලා තියෙන්නෙ ගුරු ගීතය චිත්‍රපටයේ අල්තිනායි චරිතයට හරියනම කෙනා මම කියලා. මොකද කොයින් කියන නාට්‍ය තුළ මට තිබුණේ ගොඩක් මහන්සි වෙන ඒවා, ඒ කියන්නෙ වේදිකාව උඩ පිනුම් ගහන්න දුවන්න වගේ ගොඩක් වෙලාවට ශරීරය වෙහෙසලා කරන ඒවා. මම හිතන්නෙ ඒක උපාලි ගම්ලත් මහත්මයා දැකලා. ඒක හේතු වෙන්න ඇති මාව ගුරු ගීතයට තෝරගන්න. මොකද ගුරු ගීතය තුළ නේපාලයේ මනං කියන ගම්මානයට යන්න ඉතා දුෂ්කර ගමනක යෙදෙන්නත් ඕනෑ. එතැනදි හිතේ ශක්තිය වගේම කාය ශක්තියත් ඇත්තටම තියෙන්න ඕනෑ. ඉතින් ඒ නිසා වෙන්න ඇති ගුරු ගීතය සිනමාවට මාව අවතීර්ණ වෙන්නෙ.
අලුත්ම අත්දැකීමක් වුණු ගුරු ගීතය ගැන විස්තරයක් කිවුවොත් කොහොමද?
ගුරු ගීතයේ පොත මට කියවන්න හම්බෙන්නේ මට වයස අවුරුදු 14 දීයි. මම නව යොවුන් විය ගත කරන කාලෙදි මගේ උපන් දිනයට මගේ අම්මා තමයි මේක මට ගෙනත් දුන්නේ. එකපාරක් කියවලා බිම තියපු පොතක් නෙවෙයි ඒක. මම කීප වතාවක්ම ඒක කියවල තියෙනවා. මම පළවෙනි පාරට ඒ පොත කියවද්දී මගේ ඇස් දෙකට කඳුළු ආවා. ඒක මගේ ජීවිතයට ගොඩක් දැනුණු කතාවක්. ප්‍රේමය සම්බන්ධ මම කියවපු පළවෙනි පොත ඒක. ගුරු ගීතයේ අල්තිනායි චරිතයට මම තෝරගන්නව කියද්දී ඒක මට ලොකු සතුටක්. ආඩම්බරයක් වුණා. මොකද මම ආදරේ කරපු චරිතයක් මට නිරූපණය කරන්න ලැබුණා කියන්නේ ඒක මට ලොකු භාග්‍යයක්. ඒ ආපු සතුට එක්කම මගේ හිතේ බයක් දැනුණා. ප්‍රේක්ෂකයෝ මේ ගුරු ගීතය චිත්‍රපටය කොහොම වැලඳ ගනීද කියන කාරණාවට. කෙසේ වෙතත් ලංකාවේ පාඨකයෝ භාගයක්වත් මෙම ගුරු ගීතය කියවලා ඇති කියලා මම හිතනවා.
මේ කියවපු හැම කෙනෙක්ගෙම හිතේ අල්තිනායි කෙනෙක් ඉන්නවා. එතකොට මම දැකපු අල්තිනායි හා මම ඒ රංගනයට ගේනකොට මම නිරූපණය කළ අල්තිනායි මිනිස්සු කොහොම වැලඳ ගනීද, පොතක මිනිස්සු ආදරය කරන චරිතයක් සිනමාවට ගේන ඒක ලොකු අභියෝගයක්. මට ඒ අභියෝගය තිබුණු රංගනයේදී, නමුත් අධ්‍යක්ෂකවරයාගේ සහාය හා තිර පිටපතේ හිටපු අල්තිනායි මගේ හිතේ හිටපු අල්තිනායිට සමාන වීම ඒ චරිතය නිරූපණය කරන මට ලොකු උදව්වක් වුණා.
ඔබ ගුරු ගීතයේ රඟදැක්වීම තුළ අත්විඳපු දේවල් අපිට විස්තර කළොත් කොහොමද?
ගුරු ගීතයේ චිත්‍රපටය රූපගත කිරීම් කරන්නේ ප්‍රධාන වශයෙන් නේපාලයේ මනං කියන ගම්මානයේ අති දුෂ්කර ගම්මානයක. ඊට අමතරව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ රූපගත කිරීම් කරනවා. මේ සියලු දර්ශනවලට මම සම්බන්ධ වුණා. ඒවායින් දුෂ්කරම හා අමතක නොවණම සිද්ධීන් තිබුණේ නේපාලයේදී. දවස් නවයක් විතර අපි පයින් ගියා. ඒකට හේතුව ඒ මනං කියන ගමට යන්න පාරක් නෑ. සංචාරකයෝ එවරස්ට් තරණය කරන්න යන පාරක තිබුණු ගම්මානයක් තමයි මේ මනං කියන ගම. ඒ වගේම ගුරු ගීතයේ පොතට සමාන පරිසරයක් හා ඒ මිනිස්සුන්ගේ ගති ලක්ෂණ තිබුණු ගම්මානයක් විදිහට මටත් මනං කියන ගම්මානය දැක්කාම හිතුණා. එතැනට ගියාම අපි කියවපු ගුරු ගීතයේ රූප මැවුණා. බූරුවන්ගේ පිටේ බඩු පටවලා මාස එකහමාරක් විතර රූපගත කිරීම් කරා. පිරිසක් නැවත ආපු නිසා ගොඩක් දර්ශන රූපගත කිරීම් කරන්න වුණේ නෑ. ඒ දර්ශන තමයි නැවත ලංකාවේ කළේ. අවසානයේ මම ඇතුළුව තව හයක් විතරයි නේපාලයේ රූපගත කිරීම් කරන්න ඉතුරු වුණේ. ඉතින් කෝකියා පවා ආපහු යද්දී අපිට සිදුවුණා හැම කෙනෙක්ගෙම වැඩ බෙදාගෙන කරන්න. අධික ශීතල දරාගෙන ඔක්සිජන් අඩු වුණත් හැම දුකක්ම දරාගෙන අපි සහයෝගයෙන් එකිනෙකාගේ වෘත්තිය මොකක්ද කියලා අමතක කරලා කටයුතු කරපු හින්දා ගුරු ගීතය චිත්‍රපටය හොඳට රූගත කිරීම් කරන්න පුළුවන් වුණා. මට ගුරුවරුන්ගෙන් ලැබුණු පන්නරය තුළින් තමයි මට ගුරු ගීතය තුළ හිටපු අල්තිනායි සිනමාව තුළට ගේන්න පුළුවන් වුණේ.
නිසංසලා
කොට්ටගස්වත්ත