Òමං මිදුලේ ඉන්න විට ලොකු සද්දයක් ඇහුණා. පාරට දුවගෙන ගොස් බලන විට පාර අයිනේ යතුරුපැදියක් පෙරැළී තිබුණා. පොත්පත් කීපයක් බිම විසිරී තිබුණා.නහයෙන් කටින් ලේ ගලමින් සිටි පිරිමි ළමයකු එතැන තිබුණ මානා කැලයේ උඩබැලි අතට වැටී සිටියා.ඒ දරුවා රෝහලට එක්කරගෙන යන්න කියා මම වාහන කීපයක්ම නතර කළා. ඒ හැමෝම බෑ කිව්වාÓ යැයි නිකවැරටිය නැබඩෑව කිවුලේගම ප්‍රදේශයේදී යතුරුපැදි අනතුරකින් මියගිය 16 හැවිරිදි පාසල් සිසුවාගේ හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් ඒ. සමීර ශාන් ප්‍රමෝද් (27) මහතා පැවසීය.
මේ සිසුවා රෝහල්ගත කර ඇති මේ සාක්ෂිකරු වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.
Òමගේ රැකියාව පාරම්පරික දේශීය වෙදකමයි.මට බෙහෙත් සාප්පුවක් තිබෙනවා.එදා උදේ 8.30ට විතර මා බෙහෙත් සාප්පුවේ මිදුලේ ඉන්න විට,එක්වරම පාර දෙසින් ලොකු සද්දයක් ඇහුණා. මම පාරට දුවගෙන ගිහින් බලන විට ටිකක් ඈතින් යතුරුපැදියක් පෙරැළී තිබෙනවා දැක්කා. මම එතැනට දුවලා යද්දි පාර අයිනේ පෙරැළී තිබුණ යතුරුපැදිය ළඟ පොත්පත් කීපයක් විසිරී තිබුණා.ඒ අසලම මාන කැලයේ පිරිමි ළමයකු උඩබැලි අතට වැටී සිටියා. ඔහුගේ නහයෙන් කටින් ලේ ගලමින් තිබුණා. ඔහු කතා කළේ නෑ.ඒ ළමයා මම අඳුනන්නේ නැහැ. ඒත් මම පාරේ ගිය කෙනකුගේ උදව්වෙන් ඒ දරුවා පාරට ගත්තා.පාරේ ගිය වාහන කීපයක්ම දරුවා රෝහලට ගෙනියන්න බෑ කීවා. පස්සේ මම 1990 සුවසැරියටත් කතා කළා. සුවසැරිය එන්න පෙර පාරේ ගිය ලොරියක් නවත්වාගෙන දරුවා ඒකේ දාගෙන නිකවැරටිය රෝහලට එක්ක ආවා. දරුවා කතා කළේ නෑ. ටික දුරක් එන විට දරුවා වමනය දැම්මා.අතරමඟදී 1990 සුව සැරිය හමුවුණා. අපි ලොරිය නැවැත්තුවා. එවිටම දරුවගේ තාත්තාත් එතැනට ආවා. පසුව අපි එකතු වී දරුවා 1990 සුව සැරියට නංවාගෙන නිකවැරටිය රෝහලට රැගෙන ආවා. දරුවා රෝහලට ඇතුළු කර මම ආපසු ගෙදර ආවා. පසුව දරුවා මිය ගොස් ඇති බව දැන ගත්තා.Óමිය ගිය සිසුවාගේ පියා වන එස්. එන්. ඩබ්ලිව්. එම්. සුසන්ත බණ්ඩාර (43) යන අය සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.‘‘අපි පදිංචි වෙලා ඉන්නේ ගල්කන්ද නිකවැරටියේ. මගේ රැකියාව මේසන් වැඩ. අපට දරුවන් දෙන්නයි.මියගොස් සිටින නිම්සර අභිමාන් අපේ වැඩිමල් පුතා. තුඹුල්ල මහා විද්‍යාලයේ 11 වසර ඉගෙන ගත්තා. එදා උදේ පුතාට අමතර පන්තියක් තිබුණා. මං පුතාවත් බයික් එකේ තියාගන කිවුලේගමට ආවා. නංගිගේ මහත්තයා සමඟ වැඩට යන්න. නංගිලාගේ ගෙදර ළඟින් බයික් එක නැවැත්තුවාම පුතා මගෙන් පන්තියට යන්න බයික් එක ඉල්ලා ඇවිටිලි කළා. පසුව මම පුතාට බයික් එක දීලා පරෙස්සමින් යන්න කියලා කීවා. ටික වෙලාවකින් අඳුනන කෙනෙක් නංගිගේ ගෙදරට ඇවිත් කීවා පුතාට අනතුරක් වෙලා කියලා. මම ඉක්මනට ඒ දෙසට දුවගෙන ගියා. එවිට පුතා ලොරියක දමාගෙන එනවා මඟදි හම්බවුණා.
මෙසේ අනතුරට ලක්ව මියගොස් ඇත්තේ නිකවැරටිය,ගල්කන්ද පදිංචි එස්.එන්.ඩබ්ලිව්.එම්. නිම්සර අභිමාන් වන්නිනායක නමැති සිසුවාය.
නිකවැරටිය කොට්ඨාස භාර හදිසි මරණ පරීක්ෂක රංජිත් ධර්මසිරි මහතා ඉදිරියේදී නිකවැරටිය මූලික රෝහලේදී මේ හදිසි මරණ පරීක්ෂණය සිදු කෙරිණි.
පශ්චාත් මරණ පරීක්ෂණය කළ නිකවැරටිය රෝහල් අධිකරණ විශේෂඥ වෛද්‍ය එන්.පී.කුලතුංග මහත්මිය මෙය මොට පෘෂ්ඨයක් මත හිස ගැටීමෙන් මොළයට වූ හානි හේතුවෙන් සිදු වූ මරණයක් බව සඳහන් කළාය. වෛද්‍ය වාර්තාවට සහ ලැබුණු සාක්ෂි සැලකිල්ලට ගත් නිකවැරටිය කොට්ඨාස හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කළේ මෙය යතුරුපැදිය පෙරැළීයෑමෙන් සිදු වූ අනතුර හේතුවෙන් වූ හදිසි මරණයක් බවයි. නිකවැරටිය මූලස්ථාන පොලීසියේ රථවාහන අංශ පොලිස් සැරයන් රස්නායක (66704) නිලධාරියා සාක්ෂි මෙහෙයවීය.
නිකවැරටිය සමූහ – ප්‍රියාණි මංගලිකා