Saturday, May 10, 2025
Home » කුමාරි පෙරේරා දිවි රඟ මඬලෙන් බැස යයි

කුමාරි පෙරේරා දිවි රඟ මඬලෙන් බැස යයි

by sachintha
February 14, 2025 3:05 am 0 comment

ප්‍රවීණ රංගන ශිල්පිනියක මෙන්ම නිවේදිකාවක්ද වූ කුමාරි පෙරේරා මහත්මිය ( 68) අභාවප්‍රාප්ත වූවාය.

1956 වසරේ උපන් ඇය පැරණි ටවර්හෝල් නළු නිළි යුවළක් වූ ටී. විල්බට් පෙරේරාගේ සහ සෝමකාන්තාගේ දියණියක වූවාය. ඇය ප්‍රවීණ සංගීතඥ රංජිත් යාපා ද අල්විස්ගේ භාර්යාව වූ අතර නැසීගිය ප්‍රවීණ ගායක ටී. ෂෙල්ටන් පෙරේරාගේ සහ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනි සූරියරාණි පෙරේරාගේ නැඟණියක ද විය.

කුමාරි පෙරේරා මහත්මිය අට හැවිරිදි වියේ දී ‘වෙස්සන්තර’ නාට්‍යයේ ‘ක්‍රිෂ්ණජිනාගේ’ චරිතය රංගනය කරමින් කලා ලොවට පිවිසියාය. සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයේ මනමේ කුමරිය ලෙස ද රංගනයේ යෙදීමට වරම් ලත් ඇය ‘සිංහබාහු’ නාට්‍යයේ සිංහ සීවලී ද හට කලක් පණ පෙවුවාය. ‘පොද වැස්ස’, ‘බෝඩිම’, ‘ඉරට හඬන මල්’, ‘කන්දෙ ගෙදර’, ‘කෝපි කඩේ’ වැනි ටෙලිනාට්‍ය ගණනාවක ද රංගනය කළ ඇය ගුවන්විදුලි නිවේදිකාවක් සහ නූර්ති ගී ශිල්පිනියක් ලෙසින් ද ප්‍රකටය.

‘වෙසතුරු සිරිත’ චිත්‍රපටයේ ළමා චරිතයක් රංගනය කරමින් සිනමාවට ද පිවිස ඇති ඇය ‘සිකුරු දසාව’, ‘තෙවත’ සහ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ වැනි චිත්‍රපට කිහිපයක රංගනය කළාය. ඒ අතුරින් “ගිනි අවි සහ ගිනි කෙළි” චිත්‍රපටයේ ඇය කළ පද්මෙගෙ බිරියගේ චරිතය කැපීපෙනේ.

කුමාරි පෙරේරා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු එළැඹෙන 15 වැනිදා (සෙනසුරාදා) සවස 3ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT