Sunday, May 11, 2025
Home » මහින්දගේ ආරක්ෂකයන් සිටි නිවෙසේ ජලය කපයි
ලක්ෂ 4ක හිඟ ජල බිල ගෙවා නෑ

මහින්දගේ ආරක්ෂකයන් සිටි නිවෙසේ ජලය කපයි

by sachintha
February 14, 2025 3:07 am 0 comment

රුපියල් හාර ලක්ෂ විසි අටදහස් නවසිය හැට අටක (428968) බිලක් නොගෙවීම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙසෙන විජේරාමේ නිල නිවෙස ආසන්නයේ ආරක්ෂකයන් රැඳී සිටි ස්ථානයක ජල සැපයුම විසන්ධි කර තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒකනායක වීරසිංහ මහතා පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවෙසේ ජල සැපයුම අත්හිටුවා ඇති බවට කෙරෙන ප්‍රචාර අසත්‍ය බවත් එම නිල නිවෙස ආසන්නයේ ඇති හමුදා කඳවුරක් ලෙස හඳුනාගත් ස්ථානයක ජල සැපයුම විසන්ධි කර ඇති බවත්ය.

විජේරාම මාවතේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසට ඒ මහතාගේ නමින්ම ජල බිල්පත යොමු කෙරෙන බවත් එම ජල බිල්පත සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නිර්මාණය වී නැති බවත් හෙතෙම අවධාරණය කළේය.

නමුත් හිටපු ජනාධිපතිවරයාගේ නිවෙස ආසන්නයේ ඇති ජලාපවාහන මණ්ඩලය මඟින් හමුදා කඳවුරක් ලෙස හඳුනාගත් ස්ථානයක රුපියල් හාර ලක්ෂ විසි අට දහස් නවසිය හැට අටක (428968) නොගෙවූ ජල බිල්පතක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ මණ්ඩලය එහි ජල සැපයුම විසන්දි කර ඇතැයි ද කීය.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ නිලධාරීන් මෙහි නේවාසිකව සිට ඇති බවත් ඔවුන් ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ ඉවත්ව ගොස් ඇති බවත් හෙතෛම කීවේය.

ජල සැපයුම විසන්දි කිරීමෙන් හිටපු ජනාධිපතිවරයාට හෝ ආරක්ෂක නිලධාරීන්ට අපහසුතාවක් නොමැති බවත් මෙම ස්ථානයට මින්පෙර ගෙවීම් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බවත් ඒ මහතා පැවසීය.

ජල සැපයුම විසන්දි කිරීමට පෙර බිල්පත සම්බන්ධයෙන් පෙර දැනුම්වත් කිරීම් කිහිපවරක්ම සිදුකර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රන්මලී සෝමසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT