Home » සුජීවගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින දෙයි
සුඛෝපභෝගී වාහනයක් එකලස් කිරීමේ සිද්ධිය

සුජීවගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින දෙයි

by sachintha
February 14, 2025 2:50 am 0 comment

නීති විරෝධී ලෙස සුඛෝපභෝගි වාහනයක් එකලස් කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමන්ට එරෙහිව විමර්ශන කටයුතු සිදු කිරීම මඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) අවසර ලබා දුන්නේය.

එම පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදෙන ලදි.

කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා සහ සම්පත් අබයකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදි. එහිදී පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කළේ ප්‍රශ්නගත වාහනය 2022 වසරේදී ලියාපදිංචි කර ඇති බවය.

එම වාහනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පදනම්විරහිත පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු සිදු කිරීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කර ඇති අතර එලෙස විමර්ශන කටයුතු සිදු කිරීම නීති විරෝධී බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එම පෙත්සම්කරුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පදනම්විරහිත බවත් විමර්ශනයක් සිදු කළ හැක්කේ පදනමක් සහිත නිවැරදි පැමිණිල්ලක් මත පමණක් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. ඉකුත් නොවැම්බර් මස 2 වැනිදා ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත පෙත්සම්කරුගේ නිවෙස පරීක්ෂා කර ඇති බවත් නීති විරෝධී කිසිවක් එහිදී සොයා ගැනීමට නොහැකි වූ බව වලාන දූෂණ මර්දන ඒකකය මඟින් වාර්තා කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කළේය.

කෙසේ වුවද නැවත අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන අතර ඊට අදාළව චෝදනා පත්‍රයක් ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

පෙත්සම්කරුට එරෙහි සියලු චෝදනා පදනම්විරහිත අතර දේශපාලන අරමුණු සහිතව ද්වේෂසහගතව ඉදිරිපත් කර ඇති බවට කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥවරයා එමඟින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට කරුණු ඉදිරිපත් කළේය.

එහිදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය සඳහන් කළේ මෙම විමර්ශන කටයුතු අත්හිටුවන අතුරු නියෝගයක් පෙත්සම්කරු විසින් මේ වන විටත් අභියාචනාධිකරණයෙන් ලබාගෙන ඇති බවය. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තමාට වැඩිදුර උපදෙස් ලැබී නොමැති බව ද ඇය සඳහන් කළාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළේය.

ඒ අනුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස දහ වැනිදා ඇරඹීමට නියම කෙරුණු අතර පෙත්සමට එරෙහි විරෝධතා සති හයකදී ගොනු කරන ලෙස නියම කෙරිණි. ප්‍රතිවිරෝධතා ඉන්අනතුරුව සති හතරකදී ගොනු කරන ලෙස නියම කෙරිණි.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT