Saturday, May 10, 2025
Home » ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරන්න එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරන්න එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය

by sachintha
February 14, 2025 2:24 am 0 comment

පසුගිය වසර කිහිපය තුළ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයන් විසින් ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය ශක්තිමත් කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායිහි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා සහතික වෙයි.

ඩුබායිහි පාලකවරයා එසේ ප්‍රකාශ කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැති හමුවේදීය. මෙම හමුව පෙරේදා (12) දින එරටදී පැවැත්විණි.

මේ හමුව සඳහා ඩුබායිහි ඔටුන්න හිමි කුමරු වන, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක ඇමැති ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් සහ ඩුබායිහි පළමු නියෝජ්‍ය පාලක, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුදල් ඇමැති ෂෙයික් මක්ටූම් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහත්වරුද එක්ව සිටියහ.

ගෝලීය මට්ටමින් රාජ්‍ය සම්බන්ධීකරණ කටයුතු ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ ආර්ථික හා සංවර්ධන අභියෝග සඳහා නව්‍ය විසඳුම් සකස් කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම සහ ගෝලීය වශයෙන් පාලනයේ සහ ප්‍රධාන උපායමාර්ගික අංශවල ප්‍රමුඛයන් සමඟ විශේෂඥතාව හුවමාරු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහය සහ කැපවීම ෂෙයික් මොහොමඩ් මහතාගේ ඇගයීමට ලක් විය.

ශ්‍රී ලංකාවේ වැදගත් ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා සහාය ලබා දීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තුතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රතිඵලයක් වශයෙන් ආයෝජන, වෙ‍ෙළඳාම සහ සංචාරක ක්ෂේත්‍රයන් මේ වන විට සැලකිය යුතු මට්ටමේ ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව ද විශේෂයෙන් සඳහන් කළේය.

තවද අර්ථවත් ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් වැඩිදියුණු කිරීම, ගෝලීය පාලන පිළිවෙත් ඉදිරියට ගෙන යාම සහ අභියෝගයන්ට මුහුණ දීම සඳහා මෙන්ම නව අවස්ථා ගවේෂණය කිරීම සඳහා අවශ්‍ය තීක්ෂණ බුද්ධියෙන් රාජ්‍ය නායකයන් සන්නද්ධ කිරීම සඳහා ලෝක රාජ්‍ය සමුළුව විසින් සිදු කරනු ලබන මහඟු කාර්යභාරයද ජනාධිපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක් විය.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT