Sunday, May 11, 2025
Home » මහනුවර ජාතික රෝහලේ ව්‍යාපෘති 4කට කඩිනම් ප්‍රතිපාදන

මහනුවර ජාතික රෝහලේ ව්‍යාපෘති 4කට කඩිනම් ප්‍රතිපාදන

-ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

by sachintha
February 14, 2025 2:29 am 0 comment

මහනුවර ජාතික රෝහලේ ප්‍රධාන ව්‍යාපෘති 04ක ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා කඩිනමින් ප්‍රතිපාදන වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

ඒ සඳහා රුපියල් මිලියන 1500ක මුදලක් මේ වර්ෂයේ දී වෙන් කරන බව ද පෙන්වා දුන් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ, මහනුවර ජාතික රෝහලේ අතරමඟ වැඩ නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් කටයුතු සොයා බැලීමට එක්වෙමිනි. මහනුවර ජාතික රෝහලේ නව පිළිකා වාට්ටු සංකීර්ණය (New Cancer Complex), තැලසීමියා වාට්ටු සංකීර්ණය (Bone Marrow Transplant Unit), හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය (Accident & Emergency care unit), වෙන් කළ යුතු රෝගීන් වෙනුවෙන් ඉදිකෙරෙන වාට්ටු සංකීර්ණය (Isolation Ward Complex) යනාදී ව්‍යාපෘති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්කෙරිණි.

“මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු විධිමත් සැලැස්මකින් තොරව සහ විවිධ ළැදියාවන් මත විවිධාකාර ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. ඒවා මේ වන විට රෝහල් පද්ධතියට දරාගත නොහැකි ඉදිකිරීම් බවට පත්ව තිබෙනවා. මෙලෙස අවිධිමත් ලෙස කටයුතු ආරම්භ කර තිබීම රජයටත්, සෞඛ්‍ය සේවාවටත්, රටටත් විශාල බරක්” බව ද අමාත්‍යවරයා පැවසීය. රට තුළ දැනට ස්ථාපිත ජාතික රෝහල් 03ට අමතරව අනාගතයේ තවත් එක් ජාතික රෝහලක් ප්‍රමාණවත් වනු ඇති බව මෙහිදී අවධාරණය කළ අමාත්‍යවරයා ජාතික රෝහලකට අවශ්‍ය ජනගහනය හා භූගෝලීය පිහිටීම සලකා ඉදිරියේ දී ඒ පිළිබඳ තීරණ ගන්නා බව ද පැවසීය.

ජාතික රෝහල් සංවර්ධනය කිරීමේ දී බාහිර රෝගී අංශවල සහ සායනවල තදබදය වර්තමානයේ දැරිය නොහැකි මට්ටමක පවතින බවත් එම තත්ත්වය අවම කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය කරමින් ක්‍රමානුකූල වැඩපිළිවෙළක් සකස් කර ජාතික රෝහල්වලට අවශ්‍ය කරන විශේෂිත ඒකකවල පහසුකම් උපරිමයෙන් ඉහළ නැංවීමට රජය සැලසුම් කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මහරගම අපේක්ෂා රෝහලට පසුව මෙරට ඉදි කරන දෙවැනි විශාලම පිළිකා වාට්ටු සංකීර්ණය මහනුවර මහ රෝහලේ පිළිකා වාට්ටු සංකීර්ණය යි. මහල් 09කින් යුත් එම නව පිළිකා වාට්ටු සංකීර්ණයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු අවසන් කර පිළිකා රෝග සායනයක් සහ වාට්ටු 02ක් මේ වසරේ ආරම්භ කිරීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා පැවසුවේය. රෝගී ඇඳන් 2741ක්, වාට්ටු 75ක්, සායන 52ක ක්‍රියාකාරීත්වයෙන් යුතු මහනුවර ජාතික රෝහලට දිනකට පැමිණෙන බාහිර රෝගීන් සංඛ්‍යාව 4000ක් පමණ වේ.

හෘද ශල්‍ය සැත්කම් සඳහා පොරොත්තු ලේඛන ඉහළ යෑම, රෝහල තුළ වාහන තදබදය අවම කරගැනීම සඳහා වාහන නැවතුම්පළක අවශ්‍යතාව, අනවසරයෙන් අත්පත් කරගෙන ඇති රෝහල සතු ඉඩම් පවරා ගැනීමට කටයුතු කිරීම, විශේෂඥ, වෛද්‍ය සහ හෙද ඇතුළු කාර්ය මණ්ඩල හිඟය ආදී ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) සහ පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂ එච්. එම්. අර්ජුන තිලකරත්න, කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂ සහ මහනුවර ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන විජේසිංහ, මහනුවර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT