Monday, May 12, 2025
Home » ශ්‍රී ලංකාවේ මානව සම්පත බලගැන්වීමට තාක්ෂණික සහාය

ශ්‍රී ලංකාවේ මානව සම්පත බලගැන්වීමට තාක්ෂණික සහාය

-අමෙරිකානු තානාපති ජූලි චංග්

by sachintha
February 14, 2025 2:29 am 0 comment

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා මානව සම්පත බලගැන්වීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සමඟ කම්කරු අමාත්‍යංශයේදී පැවැති හමුවකදීය. ඇය සමඟ එක්සත් ජනපදයේ දූත පිරිසක් මේ සාකච්ඡාවට ඉකුත්දා (11) සහභාගී වූහ.

එහිදී ඔවුහු අවධාරණය කළේ පාරදෘශ්‍යභාවයෙන් යුතු සැමට සමාන බදු ප්‍රතිපත්තියක් පැවැතීමෙන් විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා වඩාත් පුළුල් පසුබිමක් නිර්මාණය කරන බවයි.

අමෙරිකානු රජය සඳහන් කරන්නේ මානව සම්පත ඵලදායී ලෙස මෙරට සංවර්ධන ක්‍රියාවලිය සඳහා දායක කිරීමට අවශ්‍ය පුහුණු කිරීමේ කටයුතු වෙනුවෙන් ද සිය දායකත්වය සැපයිය හැකි බවයි. අමෙරිකානු ව්‍යවසායකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු කෙරෙහි නැඹුරු කරවීමේ හැකියාව ඇති බවත් එය සිදු කළ යුත්තේ මෙරට සංවර්ධන ප්‍රමුඛතා අනුපිළිවෙළ අනුව බවත් ඔවුහු සඳහන් කළහ.

ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමුඛතා අනුව ආයෝජන ගෙන එන්නට සිය රජය සූදානම් බවත් අය වැය තුළ ඇති ප්‍රමුඛතා සහ ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක උපායමාර්ගවලට අනුකූලව ඒ ආයෝජන සහ වෙ‍ළෙඳාම දියුණු කරන්න කැමති බවත් කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී කීවේය.

අමෙරිකානු දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී ඩග්ලස් සොනෙක් (Dougls Sonnek), ආර්ථික ප්‍රධානී සචරී බෙයිලි (Zachary Bailey) මහත්වරුන් සහ ආර්ථික විශේෂඥ රෝෂිණි පීරිස් මෙණෙවිය, කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්. එම්. පියතිස්ස මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සාකච්ඡාව සඳහා සහභාගි වූහ.

දුලක්ෂි උඩගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT