Home » මරණ සහතිකය ඉල්ලා අම්මා දස අතේ යයි
සෙබළා අබිරහස් ලෙස මියගිහින් වසර 12යි

මරණ සහතිකය ඉල්ලා අම්මා දස අතේ යයි

by sachintha
February 14, 2025 1:20 am 0 comment

අනුරාධපුර කළුකුන්නාමඩුව භූ ඔය යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි ඉංජිනේරු සෙබළ (එස්.බී/100069) ඒ.එම්. ප්‍රියන්ත කුමාර යන තම පුතා එම කඳවුරෙන් පිට ආසන්න ප්‍රදේශයකදී 2013 ජනවාරි 01 වැනිදාත් 09 වැනිදාත් අතර දිනක අබිරහස් ලෙස මිය ගොස් සිටියදී මැදවච්චිය පොලීසිය විසින් සොයා ගත් බවත් එම මරණය පිළිබඳව පොලීසිය මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර පොලිස් පරීක්ෂණ පැවැත් වූ බවත් එම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග අනුව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන බව ප්‍රකාශ කරමින් එම පරීක්‍ෂණ කටයුතු සිදුකර වසර දොළහක් ගතවී ඇතත් ඒ පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් තමන් වෙත ලබා දුන්නේ නැතැයි මියගිය සෙබළාගේ මව වන හිඟුරක්ගොඩ, හිඟුරක්දමන අක්කර 100 පාර පහේ කණුව ලිපිනයේ පදිංචි උයන්ගේ පොඩිහාමිනේ මහත්මිය හැඬූ කඳුළින් පවසන්නීය.

එම සිද්ධිය පිළිබඳව ඇය වැඩිදුරටත් මෙසේද පවසා සිටියා. “මගේ පුතා කඳවුරෙන් අතුරුදහන් වෙලා කියලා 2013 ජනවාරි 01 වැනිදා හමුදා නිලධාරින් මට දැනුම් දුන්නා. ඊට පස්සේ මමයි මගේ සුසන්ත පුතයි භූ ඔය කෑම්ප් එකට ගිහිල්ලා එතනින් මැදවච්චිය පොලීසියට ගිහින් පුතාගේ අතුරුදහන් වීම ගැන පැමිණිල්ලක් දැම්මා. ඊට පස්සේ ජනවාරි 09 වැනිදා මැදවච්චිය පොලීසියෙන් පණිවිඩයක් ආවා කෑම්ප් එකට ටිකක් ඈතින් ප්‍රදේශයක තිබී මළ සිරුරක් හමුවෙලා තියෙනවා ඇවිත් බලන්න කියලා. ඒ පණිවුඩය අනුව අපි එහෙට ගියා. ඒ මළ සිරුර මගේ පුතාගේ බවට මම හඳුනා ගත්තා. ඒ අනුව මූලික පරීක්ෂණය පැවැත්තුවා. එහි දී මම කිව්වේ පුතාට සියදිවි හානි කරගන්න කිසිම උවමනාවක් නෑ. ඊට ටික දවසකට ඉස්සෙල්ලා ගෙදරත් ඇවිත් ගියා කියලා. අනික කෑම්ප් එකෙන් පැනලා යන්න අදහසක් තිබුණා නම් එයාගේ ලක්ෂ ගණනක් වටිනා මෝටර් සයිකලය, ෆෝන් එක, පර්ස් එක හැඳුනුම්පත කෑම්ප් එකේ තියලා යන්නේ නෑ. මේක කවුරුහරි සැලසුම් කරලා කරපු ඝාතනයක්. එනිසා ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා එදා මම ඉල්ලා සිටියා.”

වැඩිදුරටත් තම ශෝකය ප්‍රකාශ කළ ඇය “මැදවච්චිය පොලීසිය නඩු අංක 106/2013 යටතේ මැදවච්චිය උසාවියට නඩුවක් ගොනු කරලා වැඩිදුර පරීක්ෂණ කළා. පුතාගේ මළ සිරුර ගොඩක් නරක් වෙලා තිබුණ නිසා පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න මිනිය දියවෙන්න ඕනෑ කියලා ඒක අනුරාධපුර රෝහලට ගෙනියනවා කියලා කිව්වා. නඩු වාර දෙක තුනකට මාව කැඳෙව්වා. ඊට පස්සේ අද වෙනකම් ඒ පිළිබඳ මට කිසිම දැනුම් දීමක් කළේ නෑ.

පුතා මියගිය දුකට මගේ ස්වාමියාට පිස්සුවක් වගේ හැදිලා එයත් මිය ගියා.

සුසන්ත පුතයි මමයි තනිවුණා. මගේ තනියට ඉන්නේ සුසන්ත පුතා. අපි දෙන්නට තේරෙන්නෙ නෑ මොකද කරන්නේ කියලා. ඒ දවස්වලම අපිට සාධාරණයක් කරන්න කියලා එදා හිටපු ජනාධිපති ඇතුළු ප්‍රධානීන්ට දැනුම් දුන්නා. නමුත් පුතා මියගියේ මොන හේතුවෙන්ද? කවුරුහරි ඝාතනය කළා නම් ඒ තොරතුරු තවමත් වසන් වෙලා.

අපිට කිසිම සාධාරණයක් වුණේ නෑ. කෑම්ප් එකේ තිබුණු පුතාගේ බඩු ටික ලැබුණා. ඊට අමතරව රුපියල් විසිදහස් ගණනක් හමුදාවෙන් එවා තිබුණා. එච්චරයි.

මියගිය පුතා වෙනුවෙන් සාධාරණයක් කරනවා තියා එයාගේ මරණ සහතිකයවත් තවමත් ලබා නොදෙන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්.”

මෙම අබිරහස් මරණය පිළිබඳව පොලිස් පරීක්ෂණ පැවැත්වූ මැදවච්චිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති ඒ.ඒ.කේ.එස්. අධිකාරි මහතාගෙන් දුරකතනය ඔස්සේ විමසීමේදී එම තොරතුරු සොයා බලා පිළිතුරු දීමට දින කිහිපයක් අවශ්‍ය බව පවසා සිටියා. ඒ අනුව දින කිහිපයකට පසු නැවත ඔහුගෙන් දුරකතනය ඔස්සේ විමසීමේදී මෙසේ පැවසීය. මැදවච්චිය පොලීසියේ ලිපි ගොනු පරීක්ෂා කළත් මැදවච්චිය උසාවියේ ලිපිගොනු පරීක්ෂා කළත් එම තොරතුරු සොයාගත නොහැකි වූ නිසා අනුරාධපුර උසාවියේ ලේඛනගාරයට දන්වා ඒ ගැන සොයා බැලීමට දැනුම් දුන්නා. නමුත් අනුරාධපුර උසාවියත් ඒ තොරතුරු සොයා ගන්න නැති බව තමයි දැනගන්න තිබෙන්නේ. වසර දොළහකට වැඩි කාලයක්ගතවී ඇති මෙම අබිරහස් මරණය පිළිබඳව නව ජනාධිපතිතුමාගේ හා නව යුද හමුදාපතිතුමාගේ අවධානය යොමු කර සාධාරණයක් ඉටු කර දෙන ලෙස මියගිය සෙබළාගේ මෑණියන් වන උයන්ගේ පොඩිහාමිනේ මහත්මිය ඉල්ලා සිටියාය.

ලංකාපුර සමූහ – එච්.එල්. ද සොයිසා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT