බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ස්ථාන අතර දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් බැඳගත් සුවිශේෂ ස්ථානයක් වන හපුතලේ ඇඩිෂම් බංගලාව හෙවත් ශාන්ත බෙනඩික්ට්ගේ තාපසාරාමය දක්වා තංගමලේ අභය භූමිය හරහා දිවෙන මාර්ගය දෙපසට කැළිකසළ දැමීමෙන් මේ වන විට දැඩි පාරිසරික හානියක් සිදු වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, මෙම බංගලාව නැරඹීමට පැමිණෙන ඇතැම් සංචාරකයන් තමන් රැගෙන එන කෑම බීම ආදිය තැන් තැන්වලදී පරිභෝජනය කොට ඒවායේ ඉතිරි කොටස් සහ ඉවතලන පොලිතීන් බෑග් විවිධ අසුරණ හා ප්ලාස්ටික් බෝතල් ආදිය මෙම රක්ෂිතයට බැහැර කරන බවයි. එබැවින් එම රක්ෂිතයේ ජීවත් වන රිළවුන්, වඳුරන්, වැලිමුවන්, ඉත්තෑවන් හා ගෝනුන් වැනි සතුන් මෙම ආහාරත්, ඉඳුල් සහිත කැළිකසළත් ආහාරයට ගැනීමෙන් එම සතුන්ගේ ජීවිතවලට ද තර්ජනයක් එල්ල වන බවද ඔවුහු පෙන්වා දෙති. එම සතුන් මෙම කැළිකසළ තැනින් තැනට ඇදගෙන යෑමෙන් ප්‍රදේශය පුරා අපවිත්‍ර වී ඇති බවද පෙන්වා දෙන ප්‍රදේශවාසීහු, ඉතාමත්ම සුන්දර වන රක්ෂිතයක් වන මෙම අභයභූමිය තුළ පිහිටි අලංකාර දිය දහරා හා ජල උල්පත්වලට මෙම කැළිකසළ මුසුවී එම ජලය අපවිත්‍ර වීම විශාල ගැටලුවක් බවද අවධාරණය කර සිටිති.
මේ පිළිබඳව කිසිදු බලධාරියකුගේ අවධානය යොමු නොවීම හේතුවෙන් මේ වන විට මෙම රක්ෂිතය කසළ ගොඩක් බවට පත්වෙමින් ඇතැයි මෙම මාර්ගයේ ගමන් ගන්නා පිරිස් පවසති. පිරිසුදු වාතය, ජලය, සිසිලස පිරුණු මෙම පරිසරයට විශාල හානියක් සිදු වීමට මත්තෙන් මෙම ක්‍රියාව නතර කර දැමීමටත්, මෙම අතිසුන්දර තංගමලේ අභයභූමි රක්ෂිතය ආරක්ෂා කර ගැනීමටත්, ඇඩිෂම් සංචාරක ස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ මනස්කාන්ත බව රැක ගැනීමටත් අදාළ බලධාරින්ගේ අවධානය යොමු විය යුතු බව පෙන්වා දෙන පරිසර හිතකාමීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, එය සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ද විශාල රුකුලක් වනු ඇති බවයි.
හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න