Wednesday, March 26, 2025
Home » ලකුණු පුවරුවට ලොකු ඉලක්කම් එනවා නම් ඕනෑම පිට්ටනියක් මට එකයි

ලකුණු පුවරුවට ලොකු ඉලක්කම් එනවා නම් ඕනෑම පිට්ටනියක් මට එකයි

-අද තරගයත් අපි දිනනවා චරිත් අසලංක

by sachintha
February 14, 2025 2:41 am 0 comment

ලෝකයේ කුමන ක්‍රිකට් ක්‍රීඩාංගණයක ක්‍රීඩා කළ ද එය අදාළ නොවන බවත්, තමන්ට අවශ්‍ය වන්නේ ලකුණු පුවරුව ලොකු ඉලක්කම්වලින් පිරීම පමණක් බවත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක පැවසීය.

අද කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ ජය හිමිකරගෙන ඔස්ට්‍රේලියාව 2-0ක් ලෙස පරාජය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම අපේක්ෂාව බව හෙතෙම පැවසුවේ පළමු එක්දින තරගයෙන් පසු පෙ‍රේදා පැවති මාධ්‍ය හමුවේදීය.

ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 49ක ජයක් හිමිකර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණට පැමිණියේය.

“තරගයේ මැද හරියේදී මම හිතුවේ ඉන්න පිතිකරුවන් සමඟ ඉදිරියට යන්නයි. කඩුලු කිහිපයක් ඉක්මනින් බිඳ වැටුණට පසු වෙල්ලාලගේ ඇවිත් සබඳතාවක් ගොඩනැඟූ එක අපට වාසියක් වුණා. ඒ වගේම ඒෂාන් මාලිංගත් විශාල සේවයක් කළා. පිතිකරුවන්ගේ කඩා වැටීම ඕනෑම වේලාවක වෙන්න පුළුවන්. ආර්. ප්‍රේමදාස තණතිල්ල වේග පන්දු යවන්නන්ට සහායක් දක්වන බවක් මෙයට කළින් දැකලා නෑ. ඔවුන් ටෙස්ට් තරගාවලිය ජයගෙන හොඳ මානසිකත්වයක හිටි‍යේ. එවැනි අවස්ථාවක ලැබූ ජයග්‍රහණය රටට ගොඩක් වැදගත්” අසලංක පැවසීය.

ශ්‍රී ලංකා පිලේ මීළඟ ඉලක්කය 2027 වසරේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බවත්, ඒ වන විට ලෝකයේ සිටින තරුණ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා පිල වනු ඇති බවත් අසලංක විශ්වාසය පළ කළේය.

“අපේ මේ ගමන් මඟ තියෙන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙනයි. ලෝක කුසලානය වෙද්දී ලෝකයේ තරුණ එක්දින කණ්ඩායම ඉන්නේ අපටයි. ඒ නිසා හොඳ කණ්ඩායමක් අපට ඉදිරිපත් කරන්න පුළුවන්. ක්‍රීඩකයන් හැමවෙලාවෙම ආදේශ කිරීම හොඳ නෑ. ඔවුන්ට හොඳ අවස්ථාවක් දී ඉදිරියට ගන්න අවශ්‍යයි. රටක් විදිහට බලන්නේ එක දිගට දක්ෂතා දක්වන ක්‍රීඩකයන් ඉදිරියට ගන්නයි. ක්‍රිකට් ආයතනය, පුහුණුකරු හා තේරීම් කමිටුව මහන්සි වෙන්නේ ඒ වෙනුවෙන්. පහුගිය අවුරුදු කිහිපයේ අපේ කණ්ඩායම හොඳට ක්‍රීඩා කර නැති නිසා ලෝක ශ්‍රේණිගත කිරීමේ දරුණු ලෙස පසුබැස්සා”

“මම පිතිකරුවකු ලෙස අංක 5 ස්ථානයේ ගිහින් මගේ වගකීම ඉටු කිරීමට කැප වෙනවා. පන්දු යැවීම පිළිබඳ හිතන්නේ පිතිකරණ වගකීමෙන් පසුවයි. පන්දු යැවීම පිළිබඳ අවධානය යොමු කරන්න වෙනවා. තුන් ඉරියව් දක්ෂතා ඇති ක්‍රීඩකයින් හිටියාම කණ්ඩායමේ සමබරතාවට ඒක විශාල බලපෑමක්” ශ්‍රී ලංකා එක්දින නායකයා පැවසීය.

කෙසේ වුවද කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායමට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විශේෂ වාසියක් ඇති බව පළමු තරගයේදී ද සනාථ විය. චරිත් අසලංක කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම හා කඩතොළුවූ තණතිල්ලේ දෙවනුව පන්දුවට පහරදීම අසීරු බව පළමු තරගයේදී මනාව වැටහුණි. එමෙන්ම මේ ක්‍රීඩාංගණයේ පවත්වා ඇති එක්දින තරග 152න් පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායම් තරග 83ක් ජය‍ගෙන ඇති අතර, දෙවනුව පන්දුවට පහර දෙන කණ්ඩායම් ජයග්‍රහණය කර ඇත්තේ තරග 59ක් පමණි. ඉතිරි තරග 10 තීරණයකින් තොරව නිමාවට පත්ව තිබේ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT