ජනපති අනුර අය-වැය ඉදිරිපත් කරයි
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක්
විවාදය දින 26ක්
ඡන්ද විමසීම පෙබ. 25 මාර්තු 21
2025 වසර සඳහා වන අය-වැය, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (17) පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව 2025 වසර සඳහා වන අය-වැයට අදාළ විවාදය 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට තීරණය කර ඇත. 2025 ජනවාරි 09 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7ක් පැවැත්වීමට නියමිතය.
ඉන්පසුව පෙබරවාරි 25 වැනිදා පස්වරු 6.00ට අය-වැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ. 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා පස්වරු 6.00ට පැවැත්වේ.
අය-වැය කාලසීමාව තුළ සෑම දිනයකම පෙරවරු 9.30 – පෙරවරු 10.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5ක් සඳහා වෙන් කර ඇති අතර පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා කාල සීමාව තුළ අය-වැය විවාදය පැවැත්වේ.
එසේම ඡන්ද විමසීම් පැවැත්වෙන පෙබරවාරි 25 සහ මාර්තු 21 දෙදින හැර අනෙකුත් සෑම දිනකම පස්වරු 6.00 සිට පස්වරු 6.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනා සඳහා වෙන් කර ඇත. 2025 වසර සඳහා වන අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අද (17) දිනයේදී දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසකට ආරාධනා කර ඇති අතර අය-වැය වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම අය-වැය ඉදිරිපත් කරන අද දිනයේදී විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.
ස්වර්ණා විජේකෝන්,
සන්ධ්‍යා කරුණාරත්න