Home » නව රජයේ අය-වැය ලේඛනය සහ ජනතා බලාපොරොත්තු

නව රජයේ අය-වැය ලේඛනය සහ ජනතා බලාපොරොත්තු

by sachintha
February 17, 2025 1:00 am 0 comment

ජාතික ජන බලවේග රජයේ පළමු අය-වැය අද පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය දේශපාලනික වශයෙන් ඉතා සුවිශේෂ අවස්ථාවකි. ශ්‍රී ලාංකේය දේශපාලනයේ සිදු වූ තීරණාත්මක බල පෙරළියකින් පසුව ඉදිරිපත් කෙරෙන මේ අය-වැය ලේඛනය කෙරෙහි සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගේ පමණක් නොව, ලෝක ප්‍රජාවගේ ද අවධානය යොමු වනු ඇති බව ඒ අරඹයා කෙරෙන දේශපාලනික නිරීක්ෂණවලින් පැහැදිලි වේ.

නව රජයේ අය-වැය ලේඛනය ජනතා බලාපොරොත්තු ඉටු කරන එකක් බවට පත් වනු ඇතැයි රජයේ පාර්ශ්වයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී අදහස් පළ වී තිබිණි.

සාමාන්‍යයෙන් අය-වැය ලේඛනයක් මඟින් ජනතා බලාපොරොත්තු සියයට සීයක් ඉටු කළ නොහැකි බව ප්‍රායෝගික යථාර්ථයකි. එහෙත් ජනතාව එවැන්නක් අපේක්ෂා කරමින් සිටිති. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ තමන්ගේ ආර්ථික පරිපීඩනයට අය-වැය මඟින් සහනයක් සලසා ගැනීමයි. ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ හැම විටම අපේක්ෂා කරන්නේ අය-වැය ලේඛනයේ ඇති ඉස්පිල්ලක, පාපිල්ලක හෝ වැරැද්දක් ගෙන, ඒ විවේචනය කිරීමයි.

එහෙත් අය-වැය ලේඛනයක් යනු රටේ ආර්ථිකය සහ ආර්ථික කළමනාකරණය පිළිබඳ මූලෝපායික ලියවිල්ලකි. රටක වසරක ආර්ථික දිශානතිය තීරණය කරනුයේ මෙමඟිනි.

මෙවර අය වැය ලේඛනය මඟින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීමක්, රාජ්‍ය සේවයට අලුතින් සේවකයන් බඳවා ගැනීමක්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිරත වන්නන්ට සහන සැලසීමක්, සුභසාධන සේවයේ වැඩි කිරීමක්, ආර්ථික අධ්‍යාපනික කාර්මික ක්ෂේත්‍රවල වර්ධනීය ප්‍රගතියක් සඳහා මුදල් වෙන් කිරීමක් යනාදී කරුණු සම්බන්ධයෙන් කල්-තියා අදහස් පළ කොට තිබිණි.

ගත වූ වසර 76 මුළුල්ලේ විවිධ ආණ්ඩු විසින්, විවිධ මුදල් ඇමැතිවරුන් විසින් විවිධ අය-වැය ලේඛන ඉදිරිපත් කොට තිබුණත්, රට ගමන් කළේ ඒ අය-වැය යෝජනා අනුව නො වේ. අය-වැය ලේඛනවලින් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කොට තිබුණත්, දේශපාලකයන් හිතුමතේ තම අභිමතාර්ථ ඉටු කර ගැනීමට රාජ්‍ය මුදල් අවභාවිත කොට ඇති බව විගණන වාර්තා මඟින් පෙන්වා දී ඇත.

රාජ්‍ය මූල්‍ය විගණනය පිළිබඳ නිවැරදි තක්සේරුවක් හෝ විනිවිද පෙනෙන ස්වරූපයක් නොතිබුණු ජන සමාජයකට ඉදිරිපත් කරන නව අය-වැය ලේඛනයක් මඟින් රටක් එක්වර ම සුරපුරයක් දක්වා ගමන් කරන දිශාවක් පෙන්වීමට හැකි වෙතැයි අපි අපේක්ෂා නොකරමු.

රජයක් විසින් ඉදිරිපත් කරනු ලබන අය-වැය ලේඛනයක් යනු: ඊළඟ මූල්‍ය වර්ෂය සඳහා වන අපේක්‍ෂිත ආදායම සහ වියදම ඇතුළත් වන ඒ රජයේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශනයයි. එය ප්‍රධාන වශයෙන් අදියර හතරකින් සමන්විත ය.

පළමුවැන්න නම්: අය – වැය සකස් කිරීමයි. ආර්ථික විද්‍යා අර්ථකථනයට අනුව මෙය සාර්ව ආර්ථික රාමුව සැකසීමේ ක්‍රියාවලියයි. එය ජාතික අය-වැය දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් සිදු වේ. සර්ව ආර්ථික රාමුව යනු වසර තුනක් සඳහා රජය ඉලක්ක සඳහන් කරමින් සකසා ඇති ලේඛනයකි. මේ සඳහා රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ අවබෝධය වැදගත් ය. එහෙත් ගත වූ කාලය පුරා එවැනි දිගුකාලීන ආර්ථික ඉලක්ක කේන්ද්‍රගත කරමින් අය-වැය ලේඛන සකස් වී ඇති බවක් හඳුනාගත නොහැකි ය.

දෙවැන්න නම්: යෝජිත අය-වැය ලේඛනය රජයේ ව්‍යවස්ථාදායකය විසින් සංශෝධනයට ලක් කිරීමේ හා අනුමත කිරීමේ ක්‍රියාවලියයි. මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරනු ලබන අය-වැය ලේඛනය පළමුවර හා දෙවැනි වර කියවීම සමඟ විවාද කොට සම්මත කර ගැනීම සිදු වේ. අය-වැය මූල්‍ය ලේඛනයට ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලැබෙනුයේ එවිටය.

තුන්වැනි අවස්ථාව නම්: විධායකය විසින් අනුමත කරන ලද අය-වැය ලේඛනය ක්‍රියාත්මක කිරීමයි. එනම්: අදාළ මූල්‍ය වර්ෂය තුළ ඒ ඒ ආයතන තුළ හඳුනාගෙන ඇති ව්‍යාපෘති, සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා, සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ක්‍රමවේද සකස් කර ගැනීම මේ ක්‍රියාත්මක කිරීමේ අදියරේදී සිදු වේ.

සිවුවැනි අවස්ථාව නම්: අධීක්ෂණය කිරීමේ අදියරයි. ජාතික විගණන කාර්යාලය විසින්, ඒ ඒ ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ක්‍රියාවලි සහ ව්‍යාපෘති පිළිබඳ ඇගැයීම මේ අදියරේදී සිදු වේ. රාජ්‍ය මූල්‍ය විගණනයකට යටත් වීම යනු එයයි. මෙය 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත යටතේත්, රාජ්‍ය ගිණුම් චක්‍රලේඛ යටතේත් පවතින නීත්‍යනුකූල ක්‍රියාවලියකි. ගත වූ කාලය මුළුල්ලේ මෙකී රාජ්‍ය මූල්‍ය අවභාවිතය වී ඇති බව විගණන වාර්තා මඟින් හෙළිදරවු කොට තිබිණි. ඒවා ජනමාධ්‍ය මඟින් ප්‍රවෘත්ති ලෙස හෙළිදරවු කෙරුණත්, ඒවාට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමක් සිදු නොවිණි. මේ හේතුව නිසා දිගින් දිගටම රාජ්‍ය භාණ්ඩාගාරය පතුලට ම සිඳී ගිය අතර, අවසානයේ ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් වන තරමට ම රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා සූරාකෑම සිදු වී තිබිණි.

නව රජයේ අය-වැය ලේඛනය ඉදිරිපත් වන්නේ මෙවන් පසුබිමක ය. ජාතික සංවර්ධන ක්‍රියාවලියේ අපේක්ෂිත ඵලදායිතාව අවම මට්ටමට වට්ටවා, සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් ජාතික ධනය කොල්ලකෑමේ ඉතිහාසයක් මෙපමණ කාලයක් පැවතිණි. එනිසා මෙවර අය-වැය ලේඛනය අතිශය සුවිශේෂ හා ජාතික වැදගත්කමකින් යුක්ත එකක් බවට පත් වී තිබේ.

අතීතයේදී අය-වැය ලේඛන ඉදිරිපත් කරද්දී ජනතාව ගුවන්විදුලි යන්ත්‍ර වටා එක් රොක් වී අය-වැය කතා ඇසූ බව අප අසා තිබේ. එහෙත් ගෙවුණු මෑතකාලීන අතීතයේ මුදල් ඇමැතිවරයකු විසින් ඉදිරිපත් කරන ලද අය-වැය ලේඛනයක් ඒ ආකාරයට ගුවන්විදුලි යන්ත්‍ර හෝ රූපවාහිනී යන්ත්‍ර වටා එක්රොක් වී ඇසූ බවක් අපට මතක නැත. එයට හේතුව එකී අය-වැය ලේඛන හුදු ලියවිලි පමණක් ය, යන අදහසක් මෙරට ජනතාව තුළ අන්තර්ගත වීමයි. රජයන් විසින් හිතුමතයේ, හිතු හිතු අවස්ථාවල බඩු මිල ඉහළ දැමීම්, බදු වැඩි කිරීම් සිදු කළ නිසා අය-වැය ලේඛනය යනු එතරම් ජනතා අවධානයට ලක් වූවක් නොවේ.

එහෙත් මෙවර ඉදිරිපත් කරනු ලබන අය-වැය ලේඛනය සමස්ත ජන සමාජයේ සුවිශේෂ අවධානය යොමු වූ අය-වැය ලේඛනයක් වන බව අපගේ විශ්වාසයයි. ආණ්ඩු පක්ෂය විපක්ෂය මෙන් ම ආර්ථික විශේෂඥයන් ද මේ අය-වැය ලේඛනය අධ්‍යයනය කරන බව අපි දනිමු. හෙට සිට සමස්ත ජනමාධ්‍ය තුළ ද, සමාජ මාධ්‍ය තුළ ද, මඟතොටේ, කඩපිලේ කතාබහට ලක් වන්නේ ද මේ අය-වැය ලේඛනය බව අවිවාදිතව සටහන් කළ හැකි ය.

අය-වැය ලේඛනයේ අන්තර්ගතය සහ ඒ පිළිබඳ පූර්ව විනිශ්චයන් කිරීමට මේ අවස්ථාව නොවුණත්, මෙවර අය-වැයේ රට මෙතෙක් මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් යම් මට්ටමකින් හෝ ගොඩ ගැනීමට සමත් ලේඛනයක් වනු ඇති බවට විශ්වාසයක් අප තුළ පවතී.

එය රටේ පොදු ජනතාව අපේක්‍ෂා කළ අය-වැය ලේඛනයක් වනු ඇතැයි බලාපොරොත්තු පළ කරමු. එහි අන්තර්ගතය පොදු සමාජයේ යහපත් දිසාවට යොමු කරන යෝජනාවලින් සමන්විත වනු ඇතැයි ද අපි අපේක්‍ෂා කරමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT