අද ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් පළමු වරට අය – වැය ඉදිරිපත් කරයි. එහිදී කුමනාකාරයේ ඉලක්ක රට හමුවේ තබාවිද? අය – වැය ඉලක්ක සපුරා ගත හැක්කේ කෙසේද යන්න ආදී කරුණු කාරණා පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය සේමසිංහ වන්නිනායක මහතා සමඟ අප කළ සංවාදයක් ඇසුරෙන් කළ සටහන මෙසේ දක්වමු.
අවුරුදු 77ක් මුළුල්ලේම පැවැතුණේ, එක්සත් ජාතික පක්ෂය මූලිකව හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික ක්‍රමවේදයකින් නිර්මාණය වුණු ආණ්ඩුයි. ඔවුන්ගේ අය – වැය සහ ආර්ථික කරුණු යම් ආකාරයක සමාන භාවයකින්ද යුතු විය. එහෙත් පසුගිය වසරේදී ජනාධිපතිවරණයෙන් ජයගත් අනුර කුමාර දිසානායක මහතා සහ මහමැතිවරණයෙන් තුනෙන් දෙකකට වැඩි බලයක් ලබා ගත් ජාතික ජන බලවේගය වෙත ලැබී තිබෙන්නේ එම පැරැණි ක්‍රමය වෙනස් කරන ජනමතයකි. වෙනස්ම සංයුතියකින් යුතු මෙම ආණ්ඩුවට අදාළ වෙනස්කම් කිරීමට හැකියාව සහ ඒ සඳහා බලයද ලැබී තිබේ. මෙම අය – වැය තුළ මූලික වශයෙන් රාජ්‍ය සේවය සඳහා පවතින පුරප්පාඩු හත්දහසකට වැඩි ප්‍රමාණයක් සඳහා සේවක පිරිස් බඳවා ගැනීම පිළිබඳව අවධානය යොමුව තිබේ. රාජ්‍ය සේවය තුළ ලක්ෂ පහළොවකට වඩා සේවක පිරිසක් සේවයේ යෙදෙති. එහෙත් ඔවුන්ගේ සේවය කෙතෙක් දුරට ඵලදායක ලෙස රාජ්‍ය සේවය වෙත යොදා ගන්නවාද යන්න විමසා බැලිය යුතුය. එහිදී අත්‍යවශ්‍ය පුරප්පාඩු පූර්ණය නොකළ යුතු යැයි අදහස් නොකෙරේ. එහෙත් රාජ්‍ය සේවය වඩාත් ඵලදායි ලෙස යොදා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. මෙම සේවය තුළින් ඉහළ ඵලදායිතාවක් ඇති කිරීම තුළින් රාජ්‍ය සේවය මෙරට ආර්ථිකයට අමතර බරක් නොවී ශක්තියක් බවට පත්වනු නියතය.
ජනතා අපේක්ෂා
තවද රාජ්‍ය සේවය නිසි ලෙස ව්‍යාප්තව තිබේදැයි යන්න සොයා බැලිය යුතුය. අත්‍යවශ්‍ය පුරප්පාඩු රැසක් පැවතීම සත්‍යයක් වුවද තවත් තැනක අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සේවකයෝ සිටිති. උදාහරණයක් ලෙස පසුගිය කාලයේ උපාධිධාරීන් රාජ්‍ය සේවයට ග්‍රහණය කිරීම පෙන්වා දිය හැකිය. එම උපාධිධාරියාගේ කුසලතාව සහ ඉගෙනුම් ප්‍රවීණත්වය වෙන එකක් වුවද ඔවුන්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ස්ථානවල විෂයට නොගැළපෙන රැකියා ලබා දී තිබේ. ආර්ථිකයට බරක් බවට පත්වන්නේ මෙවැනි පත්වීම්ය. එබැවින් නව බඳවා ගැනීම් අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා පමණක් ලෙසද ලබා දී තිබෙන පත්වීම් වඩාත් ඵලදායි ලෙස යොදා ගැනීමද වඩාත් ප්‍රශස්ත කරුණකි. නව අයවැය යෝජනාවලට එවැනි යෝජනා ද ඇතුළත් නම් වඩාත් යෝග්‍යවන අතර එය එසේ නොමැතිනම් ඉදිරියේදී හෝ මේ පිළිබඳව අවධානය යොමු විය යුතුය.
එමෙන්ම රාජ්‍ය අංශයේ වැටුප් ඉහළ දැමීම පිළිබඳව මෙවර අය – වැය යෝජනා තුළ ඇතුළත්ව ඇති බව සඳහන්ය. එය මූලික ලෙස ගෙන බැලුවහොත් සාධාරණ සහ ඉටුවිය යුතු දෙයකි. රාජ්‍ය අංශයේ පමණක් නොව පුද්ගලික අංශයේද වැටුප් ඉහළ යා යුතුය. 2019 සිට අද දක්වා ගෙන බැලුවහොත් දැකිය හැකි කරුණක් බවට පත්ව තිබෙන්නේ සේවක වැටුපේ ප්‍රමාණයට වඩා වේගයකින් වියදම් සහ ජීවන අංකය ඉහළ යාමය. ඒ නිසා වැටුප් ඉහළ දැමීම කළ යුත්තකි. අප එයට විරුද්ධ නොවෙමු. එහෙත්, මෙහිදී ඇතිවන එක් ගැටලුවක් තිබේ. එනම්, මෙසේ රාජ්‍ය අංශයේ වැටුප් ඉහළ දමන විට අහිමි වන රාජ්‍ය ආදායම කළමනාකරණය කර ගන්නේ කෙසේද යන්න සලකා බැලීමය. අයි. එම්. එෆ්. කොන්දේසි යටතේ රාජ්‍ය ආදායම නිශ්චිත අගයක පැවතිය යුතුය. ඒ සඳහා උපයා ගැනීමේ මාර්ගය බවට පත්ව ඇත්තේ බදු මාර්ගයෙන් උපයා ගැනීමය. මන්ද යත් රාජ්‍ය ආදායම ඉහළ දමා ගැනීම සඳහා රජයට ව්‍යාපාර කිරීමේ හැකියාවක් නැත. අද සෘජු බදු ලෙස අය කරනු ලබන්නේ සියයට දහ අටක විස්සක් වූ සුළු බදු ප්‍රමාණයකි. අනෙක් බදු ප්‍රමාණය 8%ට ආසන්නය. එහෙත් කළ යුතුව තිබෙන්නේ සෘජු බදු අය කර ගැනීම පුළුල් කරලීමය. ඒ සඳහා නිසි හඳුනා ගැනීම් තිබිය යුතුය. විශාල ආදායම් ලබන එහෙත් බදු නොගෙවා මඟ හරින පිරිස් ද සිටිති. එම පිරිස් කඩිනමින් හඳුනා ගත යුතුය. රජය ආරම්භ කර ඇති ඩිජිටල්කරණ ව්‍යාපෘතිය මඟින් එයට නව සවියක් එක් කර ගැනීමට හැකියාව තිබේ.
එනිසා කළ යුතු පියවරක් වන්නේ බදු මඟින් රාජ්‍ය ආදායම ස්ථාවර කිරීම සඳහා බදු අය කරගන්නන්ගේ ප්‍රමාණය පුළුල් කර ගැනීමය. එමෙන්ම සහනාධාර සහ සුබසාධනය පිළිබඳව ද මෙවර අය – වැය මඟින් අවධානය යොමු කර තිබේ. සහනාධාර ලබා දිය යුතු කණ්ඩායම්වලට සහනාධාර ලබා දිය යුතුය. එහෙත් රාජ්‍ය ආදායම, බදු මුදල් කැප කරමින් ලබා දෙන සහනාධාරය සුදුස්සන් වෙතම ලැබේද යන්න සලකා බැලිය යුතුය. අද අප රට තුළ නිසි විමසුමක් කරන්නේ නම් අස්වැසුම ලබා ගැනීමට තරම් දුබල තැනක සිටින ප්‍රමාණය කුඩාය. පසුගිය කාලයේදී අස්වැසුම අභියාචනා සඳහා පැමිණි පිරිස් පිළිබඳ සලකා බලද්දී ඔවුන් පැමිණ තිබුණේ යතුරුපැදියෙනි. ත්‍රිරෝද රියෙනි. මෙවැනි වාහනයක් නඩත්තු කරන්නෙකුට යම් ආර්ථික තත්ත්වයක් තිබේ. ඒ නිසා මහජන බදු මුදලින් සිදු කරනු ලබන කටයුතුවලදී එහි ඵලදායිතාව කෙතෙක් දුරට ඉහළ අගයක් ගන්නවාද යන්න සලකා බැලිය යුතුය. එසේ නොවේ නම් ඒවා නිවැරදි කිරීම කළ යුතුය. මා පෙර සඳහන් කළ පරිදි සුවිශේෂ සංයුතියක් සහිතව රටේ දේශපාලන, ආර්ථික වෙනසක් කිරීමට පැමිණි මෙම ආණ්ඩුවට ඒ සඳහා හැකියාවක් තිබේ. එය එසේ කිරීම මඟින් රාජ්‍ය ආදායම නිකරුණේ වියදම් වීම පාලනය කිරීමට හැකියාව ලැබේ. රාජ්‍ය ආදායම අත්‍යවශ්‍ය සහ ප්‍රතිඵලදායක දේ සඳහා යොදා ගැනීමට හැකියාව ලැබේ.
ජාතික වැඩපිළිවෙළක වැදගත්කම
බදු අය කිරීම සහ බදු ගෙවීම රටක ඉදිරි ගමනට අවශ්‍ය අංගයක් ලෙස සඳහන් කළ හැකිය. එහෙත් එම මුදල් නිසි ලෙස නිසි දේට යොදනවාද යන්න සලකා බැලිය යුතුය. රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමේදී පසුගිය ආණ්ඩු කල්පනා කළේ ඊළඟ මැතිවරණය පිළිබඳවය. සුබසාධන කටයුතුවලදීත් එසේය. අපේ රටේ එසේ වුවද ලොව දියුණු වූ රටවල් වැඩ කරනු ලබන්නේ ජාතික වැඩපිළිවෙළක් තුළය. එහෙත් අපට එවැන්නක් මෙතෙක් කල් ක්‍රියාත්මක කිරීමට නොහැකි විය එහෙත් නව ආණ්ඩුවට ඒ සඳහා හොඳ අවස්ථාවක් ලැබී තිබේ. ඒ සඳහා අවශ්‍ය කරනු ලබන ඉතිහාසගත ජනවරමක්ද, ආණ්ඩුව වෙත ලැබී තිබේ. මෙම අය – වැය යෝජනා සමඟ එවැනි අලුත් මාර්ගයකට රටට අවතීරණ වීමට හැකිනම්. එය ජයග්‍රහණයකි. අප රට 2022 වසරේදී මුහුණ දුන් විශාල ආර්ථික අර්බුදයෙන් තවමත් සම්පූර්ණයෙන්ම ගැලවීමට අවස්ථාව ලැබී නැත. යම් හොඳ තත්ත්වයකට අපට පැමිණීමට පුළුවන්කම ලැබී තිබේ.
මෙරට ආර්ථික අර්බුදය විසඳා ගැනීම සහ රට ඉදිරියට ගමන් කිරීමට නම් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කළ යුතුය. අය – වැය තුළ ඒ පිළිබඳව අවධානය යොමු කර තිබීමට ඇත්තේ වැඩි ඉඩකි. අවුරුදු 77ක් තුළ පැමිණි සෑම ආණ්ඩුවක්ම නිෂ්පාදන ආර්ථිකය නංවන බවට වාචිකව සඳහන් කළ ද එවා ප්‍රායෝගික ඒවා නොවුණි. දැන් අංශ කිහිපයකින් නිෂ්පාදන ආර්ථිකය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. ආයෝජකයන් සඳහා ඇති බාධා ඉවත් කළ යුතුය. කර්මාන්තශාලා තුළ නිතර කාර්මික සාමයට ඇතිවන බාධා දුරැලිය යුතුය. එමෙන්ම ආයෝජන අවස්ථා සලසා ගැනීමේදී ඇතිවන දුෂ්කර කොන්දේසි ඉවත් කිරීම මෙන්ම සංකීර්ණ බදු ක්‍රමද සරල කළ යුතුය. වර්තමානයේදී දේශීය නිෂ්පාදකයකු හට තම ව්‍යාපාරය ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීමේ සිට බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීම දක්වා ඇත්තේ දුෂ්කර කොන්දේසිය. එනිසා මේ අඩුපාඩු නිවැරදි විය යුතුය. කෘෂිකර්මයේ නියැළීම මෙරට ජනගහනයෙන් සියයට තිහකි. එහෙත් කෘෂිකර්මය ජාතික ආර්ථිකයට දක්වන්නේ සියයට හතක දායකත්වයකි. එනිසා කෘෂිකර්මය මෙරට නිෂ්පාදන ආර්ථිකය සඳහා ඵලදායි ලෙස යොදා ගත යුතුය. එය මෙරට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට අනිවාර්ය අංගයක් ලෙස සඳහන් කළ යුතුය.
ජාතික ජන බලවේගය ආණ්ඩුවේ පළමු අය – වැයෙන් මේ සියලු කරුණු වෙත අවධානය යොමු කිරීමට හෝ සියලු කරුණු මේ අය – වැය තුළින් පූර්ණය කිරීමට හැකියාවක් ලැබෙනු ඇතැයි අප කල්පනා කරන්නේ නැත. එහෙත් නව ජනවරමක් ලබා ජනතාවගේ පැතුමක් බවට පත්ව තිබෙන දේශපාලන ආර්ථික, සමාජයීය වෙනස සඳහා වූ දීර්ග ගමන අදින් ආරම්භ කිරීමට ආණ්ඩුවට හැකියාව තිබේ. එය එසේ සාර්ථකව ඉටු කිරීමට හැකියාව ලැබුණහොත් ජනතා පැතුම් සඵල කිරීමට මෙම ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත.
උදිත ගුණවර්ධන