වී.අයි. ලෙනින් යනු ලෝකයේ මානව දේශපාලන ගමන් මඟ තුළ අතිශය සුවිශේෂ චරිතයකි. පසුගිය ජනවාරි 21 වැනිදාට ඔහු අභාවප්‍රාප්තව වසර එකසිය එකකි. ගෙවුණු එම වසර එකසිය එක තුළ ලෝකය විශාල පරිවර්තන සහ වෙනස් කම්වලට පත්ව තිබේ. අප කළ යුතුව තිබෙන්නේ ලෙනින් සහෝදරයා සැමරීම නොව ඔහුගේ දේශපාලන ඉගැන්වීම් අපේ දේශපාලන කටයුතු සඳහා උපයෝගී කර ගන්නේ කෙසේද යන්න සලකා බැලීමයි.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය බොහෝ කලක සිට ලෙනින් සහෝදරයා සැමරීම සඳහා දේශන සමුළු පැවැත්වීම සුපුරුදු දෙයකි. අප මෙතෙක් කල් එම සාකච්ඡා සඳහා එක් වූයේ බලය ලබා ගැනීමට වෙහෙස වන කණ්ඩායමක් වශයෙනි. බහුතර මහජන බලයකින් ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසු ලෙනින් සැමරුමක් සිදු කරනු ලබන්නේ ප්‍රථම අවස්ථාවටය.
සමාජය පෙරට යන විට සෑම ක්ෂේත්‍රයකම දියුණුව වැඩි කර ගැනීමට නම් අතීත අත්දැකීම් ගුරු කොට සැලකිය යුතු වේ. විද්‍යාව කලාව ඇතුළු සෑම ක්ෂේත්‍රයකම මෙම ආකාරයෙන් ක්‍රියාත්මක වේ. අද පවතින දේශපාලන වටපිටාව පිළිබඳව විමසා බලද්දී ලෙනින් ගත් මඟ විමසා බැලීම මෙන්ම ඔහුව අනුගමනය කිරීමද කළ යුතුය.
ලෙනින් සහෝදරයා සිදු කළ ප්‍රමුඛම කාර්ය වූයේ කම්කරුවන් පීඩිත ජනතාව මූලික ස්වාධීන දේශපාලන බලවේගයක් බිහිකර උපක්‍රමිකව බලය ස්ථාපිත කර ගැනීමට කටයුතු කරන ලදි. 1918 වර්ෂයේදී රුසියානු විප්ලවය ජයග්‍රහණය කරනු ලැබුවේ ඔහුගේ මෙම මඟ පෙන්වීම යටතේය.
ලොව පළමු සමාජවාදී රාජ්‍ය ලෙස සෝවියට් දේශය තුළ සමාජවාදය ගොඩනැඟීමට ඔහුගේ මඟපෙන්වීම සහ නායකත්වය ලබා දෙන ලදි. මේ අවස්ථාවේදී ඔහු එදා ලබා දුන් මඟපෙන්වීම මෙන්ම ඉගැන්වීම්ද ඉතා ඉහළ වටිනාකමක් දරයි.
කම්කරු සමිති ව්‍යාපාරය සමඟ ජනතා විමුක්ති පෙරමුණ අප ගොඩනඟද්දී අප පක්ෂයට ප්‍රබල ශක්තියක් ලබා දෙන ලද්දේ ලෙනින් ඉගැන්වූ මාර්ගය නිසාය. ලෙනින්ගේ සංවිධාන ව්‍යුහය පරයා යන තවත් සංවිධාන ව්‍යුහයක් තවම ලොව තුළ බිහිවී නැත. මෙම ක්‍රමය තුළ සාමුහිකත්වයට වඩාත් ඉහළ වටිනාකමක් ලබා දෙනු ලබයි. ප්‍රජාතන්ත්‍රවාදී සහ මධ්‍යගතභාවය යන පාර්ශ්ව දෙක එකට තබා කටයුතු කළ හැකි සංවිධාන ව්‍යුහයක් පිළිබඳව ඉගැන්වූයේ ලෙනින් විසිනි. අපට ද දේශපාලන පක්ෂයක් ලෙස ශක්තිමත් දේශපාලන ව්‍යුහයක් ගොඩනැඟීමට හැකියාව ලැබුණේ ඒ නිසාය. අප දේශපාලන ලෙස වඩාත් ශක්තිමත් සහ සංවිධානාත්මක ව්‍යාපාරයක් බවට පත් වූයේ ඒ නිසාය.
2019දී සියයට තුනක ඡන්ද පදනමක් තිබූ දේශපාලන ව්‍යාපාරයක් අවුරුදු හතරක් තුළ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් සහ විධායක ජනාධිපති බලයක් ලබා ගැනීමට හැකි තැනට ගමන් කළේ එම සංවිධානාත්මක ව්‍යුහය ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කළ නිසාය.
එමෙන්ම දේශපාලන අවස්ථා තොරා ගැනීමත් අවස්ථාවන්ට උචිත උපක්‍රම තෝරා ගැනීමත් සමඟ අපට ජයග්‍රාහී ගමන් මඟ තුළ ඉදිරියට යාමට හැකියාව ලැබිණි. ඒ මඟ අපට පෙන්වා දුන්නේ ලෙනින් සහෝදරයා විසින්ය යන්න අතිශයෝක්තියක් නොවේ.
අප දැන් සිටින්නේ වෙනස් තැනකය. අප සාමූහිකව කටයුතු කර විශාල ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ. දැන් කළ යුතුව ඇත්තේ එම ආණ්ඩු බලය තුළ යම් යම් වෙනස්කම් කිරීමට පොරබදන සහෝදර සමූහයට තවදුරටත් ලෙනින් කියා දුන් මඟ විශාල ශක්තියක් ලබා දෙනු නියතය.
ආණ්ඩුව පිහිටුවා මාස කිහිපයකි. එහෙත් විවේචකයන් විවේචන එල්ල කරනු ලබන්නේ අවුරුදු දෙකක ආණ්ඩුවක් තරමටය. රට බංකොලොත් කළ පිරිස් ඉතාමත් නරක දේශපාලන සංස්කෘතියක් ඇති රටක් බවට මෙරට පත් කළ අය පරාජය නිසා වියරුවෙන් මෙන් කටයුතු කරන ආකාරයක් දැක ගැනීමට පුළුවන.
අනෙක් පසෙන් ඔවුන් අපේක්ෂා කරනු ලැබුවේ ආණ්ඩුව කෙටි කාලයක් තුළ අර්බුදයට ගමන් කරනු ඇතැයි කියාය.එහෙත් එවැනි අර්බුදයක් මතු නොවීම තුළ ඔවුන් අපේක්ෂා භංගත්වයට පත්ව සිටිති. ඔවුන් අපේක්ෂා කළේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, ඇති වනු ඇතැයි යන්නය. එහෙත් එම අර්බුද ජයගනිමින් රට ඉදිරියට යාම ආණ්ඩුවේ විරුද්ධවාදීන් වෙත ඉවසුම් නොදෙන්නක් බවට පත්ව තිබේ. අද විපක්ෂය ආණ්ඩුව වෙත එල්ල කරනු ලබන්නේ පදනම් රහිත විරෝධතාය.
පසුගිය සැප්තැම්බර් 21ට පෙර රට තිබූ ආකාරය ඔවුනට මතක නැත. ඔවුන් ජනතාව වෙත ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නේ සැප්තැම්බර් 21ට පෙර රට කිරියෙන් පැණියෙන් ඉතිරී පැවැති රටක් බවය. රට පැවැතියේ අතිශය දුර්වල තැනක වන අතර එය වෙනස් කිරීමට වත්මන් ආණ්ඩුවට පුළුවන්කම ලැබී තිබේ.
පෙර ආණ්ඩු පෙරළි ගැන විමසා බැලුවහොත් පළමු මාස දෙක තුන තුළ පවතින්නේ ජයග්‍රහණ සැමරීම සහ ප්‍රීති උත්සවය. තවත් තැනක සිදුවන්නේ පළිගැනීම්ය. නමුත් මෙම කාලය තුළ ජයග්‍රාහී පාර්ශ්වය ලෙස අපගෙන් එවැනි අකටයුතුකම්ය. මේ තත්ත්වය තුළ විරුද්ධවාදීන් ඒ පිළිබඳව විවේචනය එල්ල කිරීම ඇරැඹී තිබේ. අප සමඟ එක්ව කටයුතු කළ පිරිස් පවා දැන් අපගේ ගමන පිළිබඳව සැක පළ කරන අවස්ථා දැක ගැනීමට පුළුවන.
සුපුරුදු ධනපති සම්බන්ධකම් පිළිබඳ පැරැණි රජදහන තුළ සිට කටයුතු කිරීම සරලය පහසුය. නමුත් අලුත් මාවතක යෑමට අපට වුවමනා වී තිබේ. එම මාර්ගයේ ගමන් කිරීම සඳහා අප සියලු ජනතාව වෙත උසස් මට්ටමක දේශපාලන විඥානයක් සහ සංවිධානයක් අවශ්‍යව තිබේ.
සෝවියට් දේශයේ සමාජවාදී පාලනයක් ගොඩනඟන්නට යාමේදීද කුඩා වැරැදි පිළිබඳව ලෙනින් සහෝදරයා මෙම කරුණ පැහැදිලි කර තිබේ.
පැරැණි මාවත තුළ ඉදිරියට ගමන් කළා නම් මේ දිනවල සිදුවන සුපුරුදු කාර්ය බවට පත්ව ඇත්තේ හිතවතුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම, කොමිස් ගැනීම, කොන්ත්‍රාත් අත්සන් කිරීම හිතවතුන් වෙත රැකියා ලබා දීම වැනි කරුණුය. එම ක්‍රමය පහසුය වෙහෙස නොවී ගමන් කළ හැකි මඟය. නමුත් දැන් අප වෙත ජනවරම ලැබී තිබෙන්නේ අලුත් මාවත තුළ ගමන් කිරීමට නව මඟ තුළ ගමන් කරද්දි අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇත.
ක්ලීන් ශ්‍රී ලංකා යනු රටපුරා ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කළ දැවැන්ත ව්‍යාපෘතියකි. එය වෙත විරුද්ධවාදීන් දැඩි ලෙස විවේචන එල්ල කරති. අලුත් දෙයක් කරද්දී විවේචන එල්ල වේ. එම විවේචන දරාගෙන කටයුතු කිරීමට අපට සිදුවේ.
පැරැණි ක්‍රමය පවත්වා ගෙන යන්නේනම් අපට මෙවැනි අභියෝගවලට මුහුණ දීමට සිදු නොවේ. නමුත් රටක් වෙනස් කිරීමට නම් අලුත් මාර්ග සිතියමක් අවශ්‍ය කෙරේ. මේ තත්ත්වය තුළ අප අද ගමන් කරනු ලබන්නේ අවදානම් සහ අභියෝගාත්මක ගමනකි. මේ පිළිබඳව ලෙනින් සහෝදරයා පෙන්වා දෙන මඟ වන්නේ දේශපාලන වශයෙන් සවිඥානික වීම සංවිධානාත්මක වීම සිදු විය යුතුය බවය.
අප බලය ලබා ගත්තේ මහජන ඡන්දයෙනි. ඒ අනුව අපට ලොකු වගකීමක් පැවරී තිබේ. එනම් රටේ නීතිය ආරක්ෂා කරමින් රටේ ව්‍යවස්ථාවට අනුව වැඩකිරීමය. අප කටයුතු කරනු ලබන්නේ මෙම බැඳීම් තුළය.
පෙර අප වෙත එල්ල කළ චෝදනාව වූයේ අප බලයට පැමිණියහොත් රුපියල කඩා වැටීම සිදුව රට අර්බුදයකට ලක් විය හැකි බවය. එහෙත් අපට ඩොලරයේ අගය රුපියල් තුන්සියය ආසන්නයේ තබා ගැනීමට හැකියාව ලැබී තිබේ. කඩා වැටෙන බවට අනාවැකි පළ කළ කොටස් වෙළෙඳපොළ ඉහළ වර්ධනයක් සහ වාර්තා පිහිටුවන තැනක් බවට පත් කිරීමට ආණ්ඩුවට හැකියාව ලැබී තිබේ. අන්තර් ජාතික මූල්‍ය අරමුදල අප විශ්වාස නොකරනු ඇතැයි සමහරු මත පළ කළහ. එහෙත් ඔවුන් අප වෙත තැබූ විශ්වාසය එසේම තබා තිබේ. ඩොලර් සංචිත ඉහළ නංවා ගැනීමට අපට හැකියාව ලැබී තිබේ. සංචාරකයන් නොපැමිණෙතැයි පළ කළ අනාවැකි දැන් බිඳ වැටී ඇත්තේ ලෝකයේ වැඩිම සංචාරක ආකර්ෂණය ඇති රටක් බවට අප රට පත්වෙමිනි.
අප හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන් රාජ්‍ය වත්කම් ඉහළ දමා ගැනීම සඳහා රාජ්‍ය දේපළ විකුණා දැමීමට පිඹුරුපත් සකස් කළේද නැත. වංචාවලින් පිරුණු රටක් මාස තුනක් ඇතුළත වංචාවලින් දූෂණයෙන් තොර රටක් බවට පත් කර තිබේ. වංචාවලින් දූෂණවලින් තොරව රාජ්‍ය පාලනය ගෙන යාම පිළිබඳව පරමාදර්ශයක් අප විසින් ලබා දී තිබේ. මේ සියල්ල තුළ අප දේශපාලන වශයෙන් ශක්තිමත් වීම පිළිබඳව ලෙනින් හඳුන්වා දුන් ගමන්මඟ සුවිශේෂ වන්නේ එබැවිනි.
උදිත ගුණවර්ධන