හිරු අවරට යාමට තිබුණේ තවත් හෝරාවක පමණ කාලයකි. අම්මා සාදා දුන් කහට කෝප්පයද අතැතිව පෝටිකෝවට ගිය මා එහි කොනක වූ අසුනකට බර වූයෙමි. අතු ඉති සලිත කරමින් හමන සිහින් සුළඟින්ද, කැදලි කරා ඇදී යන කුරුල්ලන්ගේ කිචිබිචි හඬින්ද, රූස්ස ගස් පෙළින්ද, නේක වර්ණ පිරි හෙන්දිරික්කා මලින් සැදි වටපිටාව සිතට එක් කළේ පහන් හැඟීමකි. සැඳෑ අසිරියට හෙන්දිරික්කා මල් සුවඳ ද එක් වූ කල එය වඩාත් අපූර්ව යැයි මට සිතුණි. වෙහෙසකර දිනක අවසානයේ ලද මුල්ම ඇසිල්ලේ මා දෙනෙත් මදකට පියාගත්තෙමි. රේඩියෝවෙන් සවන වැකුණේ කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ හඬින් හැඩ වූ මියුරු ගී පෙළකි.
“ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳී කාරණේ මම තවම සොයන්නෙමි….
කතරෙ වැලි කැට හිරුට පෙම්බැද ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනුබැරි තහනම්…”
ප්‍රේමයේ ගැඹුර අති සංවේදීව ස්පර්ශ කරන ගී පද මගින් ලද ප්‍රහර්ෂයත් සමඟ මා තව තවත් තදින් දෑස් පියා ගත්තෙමි. ප්‍රේමය? සැබෑවටම එහි අර්ථය කුමක්ද?, එයට ඇති අනන්‍යතාවය කෙබඳුද? තවකෙකු හා ප්‍රේමයෙන් වෙළීමට කාලාන්තරයක් මුළුල්ලේ සමාජයේ මුල් බැස ගත් හුදු සමාජ සම්මතයන් වැදගත්වේද? මෙවැනි දහසකුත් එකක්වූ පැනයන්ට මසිත පිළිතුරු සොයන්නට විය. ප්‍රේමය වූ කලී ප්‍රේමයයි. ඊට නිශ්චිත වූත්, සම්මත වූත් පොදු නිර්වචනයක් මෙලොව නැත. එය අවාරයේ හට ගන්නා අහේතුක සිතුවිල්ලකි. මෙලොව සියල්ලන්ටම ප්‍රේම කිරීමටත්, එය විඳීමටත් අයිතියක් ඇත. එය ස්ත්‍රී – පුරුෂ දෙපාර්ශ්වයට පමණක් ලඝු වූවක් නොවේ. පිරිමි ශරීරයකට ලද ගැහැනු මානසික ගති ලක්ෂණයන්ගෙන්ද, ගැහැනු ශරීරයකට ලද පිරිමි මානසික ගති ලක්ෂණයන්ගෙන්ද යුත් පුද්ගලයෝද එකී පාරිශුද්ධ මිනිස් හැඟීමෙහි අයිතිකරුවෝය. ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ ඇති වෙනස්කම් හේතුවෙන් මෙරට බහුතර සමාජය සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව දෙස හෙළන්නේ අවඥාසහගත බැලුම්ය. සිය අයිතීන් වෙනුවෙන් හඬ නැගීමට ඔවුන්ට අවකාශ නොමැති තරම්ය. යම් සමාජ තත්ත්වයක්, සමානාත්මතාවක් වේද, එයද ඔවුනට අහිමිය. සමාජ සම්මත විවාහය යනු ඔවුනට සිහිනයක් බඳු වූවකි. එලෙස තවකෙකුගේ අති මානුෂීය හැඟීම් සිරගත කොට වැට කඩොලු බැඳීමට ඔබටත්, මටත් ඇති අයිතිය කුමක්දැයි මා ඔබෙන් අසමි. ස්ත්‍රියක හෝ වේවා, පුරුෂයකු හෝ වේවා පළමුව අප සියල්ලෝම මනුෂ්‍යයන් විය යුතුය. ලිංගිකත්වය යනු ප්‍රේමය හා මුළුමනින්ම සම්බන්ධ වන්නක් නොවේ. එය පුද්ගලයෙකුගේ හැඟීම්, දැනීම්, හැසිරීම්, අනන්‍යතාවය ආශ්‍රිත සංකීර්ණ මානයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජාතිය, ආගම, කුලය, ලිංගිකත්වය ආදී සාධක මත වෙනස්කොට නොසැලකීම, නීතිය ඉදිරියේ සියල්ලෝම සමාන වීම ආදී මූලික අයිතිවාසිකම් පිළිබඳ තහවුරුකොට පැවතිය ද ඒවා මෙරට සමාජ ක්‍රමය තුළ මුල් බැසගෙන නොමැත. එවැනි රටක බහුතරය මෙවැනි සමලිංගික හා සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවන් සලකන්නේ මානසික ව්‍යාකූලත්වයෙන් පෙළෙන්නන් ලෙසය. විෂම ලිංගික කුහක බහුතරයකට අනුව එය මහා පරිමාණ විකෘතියකි. පාපයකි. ලෝකය සහ මානව අයිතිවාසිකම් පිළිබඳ අංශුමාත්‍රයක වුව දැනුමක් නොමැති මෙරට ගෝත්‍රික සමාජය තුළින් ඉන් ඔබ්බට යමක් බලාපොරොත්තු වීමද උගහටය. නමුත් හිතවතුනි 21 වන සියවසෙහි දිවි ගෙවන ඔබටත් මටත් එකී පටු අදහස්වලින් විනිර්මුක්තව මනුෂ්‍යත්වය පෙරදැරි කොටගත් චින්තනයකින් ලෝකය දෙස බැලීමට කාලය එළැඹ ඇත.
ඉන්දීවරි පෙරේරා