අද ඊයේ දවසක දැකපු ලස්සනම නිවුස් එක තමයි.
මෙරට ළමා පිළිකා රෝගීන් සුව කිරීම ඉහළ අගයක් ගත්ත කියන එක. රටක් විදියට රෝගයක් සුවපත් වෙන, මිනිසුන් ගාණ වැඩි වෙන එක සතුටක් තමයි.
ඒක මෑත කාලීනව ලබා ගත් ලොකු ජයග්‍රහණයක් වෙන්න පුළුවන්..
ඒ වුණත් අපි ඇත්තටම දිනලද කියන ප්‍රශ්නාර්ථය ඒ පුවත ඇතුළෙම තියෙනවා.
ඇත්තටම හිතලා බැලුවොත් අපිට අවශ්‍ය රෝගීන් ඉක්මනින් සුවපත් වෙන ක්‍රමයක්ද එහෙම නැත්නම් දරුනු රෝගවලට ගොදුරු නොවෙන මිනිසුන් සිටින සමාජයක්ද?
දියුණු වෙමින් පවතින සමාජ ක්‍රමයක් එක්ක ඉදිරියට යන මේ රට තුළ කොයි තරම් නම් බෝ නොවන රෝගීන් ඉහළ යනවද? දියවැඩියාව, වකුගඩු රෝගය, පිළිකාව වගේ සමස්ත ප්‍රජාවම පවුල් පිටින් හඬවන රෝග කොයි තරම් නම් අද වෙනකොට අකාරුණික ලෙස වැඩි වෙලාද?
කිසිදු ආහාර සැලැස්මක් නොමැති රටක් මේ ක්‍රමය වැඩි වීමට තවමත් පොහොර දමමින් ඉන්නවා කියලා අපිට හිතන්න පුළුවන්. දේශපාලනිකව දාන ඩීල්කරුවන්ගේ බිස්නස් මේවාට ඍජුවම වගකියන සාධකයක් විදියට අපිට අමු අමුවේ ඇස් ඇරලා බැලුවොත් බලා ගන්න පුළුවන්..
ඉතින් රටක ආණ්ඩුවක් කරන්න ඕනෙ මිනිසුන්ව මේවායින් ආරක්ෂා කරන එක නොවේද? විපක්ෂයක් කරන්න ඕනෙ එහෙම ආරක්ෂා නොකරන ආණ්ඩුවට අභියෝග එල්ල කරන එකයි. ගොවියා, වෙළෙන්දා කළ යුත්තේ එහෙම අභියෝග වලට පෙනී සිට ඇත්ත කියන දේ මේ මහපොළව උඩ වැපිරීමයි. නමුත් අද වන විට පෙනීයන්නේ තම තමන්ගේ වාසිය මත්තෙන් ඒ ඒ පවුල්වල ආරක්ෂාව පමණක් සොයා යන බලකාමීත්වයෙන් උන්මාද වෙච්ච මිනිසුන් සහිත සමාජයක් ලෝකයට විවෘතව වීමයි. මේ වෙන කොට ආහාරවල වගේම වගාවන්වලට ගහන කෘමි නාශකේ ඉදන්ම අපේ රටේ ආහාර සංස්කෘතිය පිරිහිලා අවසන්.
මට මතකයි අපි පුංචි කාලෙ රස බලපු රතු අලේ රහ අද අමුතුම වල් නාශකවලින් හැදෙන දිය රස වැනි අලයක් වෙලා, කොත්තුවලට රයිස්වලට ඇබ්බැහි නොවුණු අපි, ගෙදර හදන මාළු පිනිවලින් පමණක් දිව පිනව ගත්තා. අද වන විට ඒ තත්ත්වය උඩුයටිකුරු වී හමාරයි. පාලකයින් දශකයක් වැනි සුළු කාලයක් තුළ අපේ රටේ ආහාර ක්‍රමය update කළේ හරි අමුතුම විදියකට කිව්වොත් අපි නිවැරැදියි. වැඩි පලදාව හොයපු මිනිස්සුන්ට වසවලින් අඩු කාලයක් තුළ පලදාව හොයන්න ඉඩක් හදපු බිස්නස්කාරයෝ ඉන්න මහපොළවක් වර්තමානයේ අපිට දැක ගන්න පුළුවන්..
ඒ හැමෝම ජීවිතය කියන දේ බිස්නස් එකකට සීමා කරන්න තරම් වගකීම් රහිත ක්‍රම වේදයක් අනුගමනය කර හමාරයි..
විදේශයකින් විස පොහොර ටික ගෙනල්ලා ආහාරවලට එකතුකොට, නිරෝගී සමාජයක් රෝගීන් බවට පත්කර ඒ වෙළෙඳ ක්‍රමය මගින්ම ඖෂධවලින් ජීවිත නඩත්තු කළ අදූරදර්ශී පාලනයක් අපව රවට්ටමින් සිටිය බව තාමත් අපි නොදන්නවා වෙන්න පුළුවන්. එක්කො පිළිගන්න අපහසුතාවයෙන් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒත් කටුක වුණත් පිළිගත යුතු ඇත්තක් ඒ තුළ තියෙනවා. එය අපේ පරම්පරාවට බේරීමට අපහසු පිළිලයක් වී අවසානයි.
නමුත් අපි වෙහෙස විය යුතු වන්නේ අපේ පරම්පරාවෙන් ඉදිරි පරම්පරාවට මේ ක්‍රමය වෙනස් කර භාර දීමයි. වස ගොඩක් ශරීරගත කර අඩු වයසින් මියදෙන අනාගත පරම්පරාවක් බිහිවීම වැළැක්වීමට රටක් වශයෙන් අප පෙරට ආ යුතු මොහොත වර්තමානය මිස අනාගතය නොවන බව මා ඔබ සියල්ලම වටහා ගත යුතු සත්‍යයක් බව පමණක් කියා නවතිමි.
ගිහාන් ප්‍රනාන්දු