Wednesday, March 26, 2025
Home » තයිරොක්සින් හෝමෝනයේ වැදගත්කම

තයිරොක්සින් හෝමෝනයේ වැදගත්කම

by sachintha
February 17, 2025 2:03 am 0 comment

සිරුරේ සියලු කාර්යයන්ට අත්‍යවශ්‍ය හෝමෝනයක් ලෙස තයිරොක්සින් හඳුන්වාදිය හැකිය. තයිරොක්සින් අඩු වීම, තයිරොක්සින් වැඩි වීම, ගලගණ්ඩය ඇති වීම ලෙස තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති වන රෝග තුනකි. මිනිස් සිරුරේ සෑම ක්‍රියාකාරිත්වයකම වේගය මේ හෝමෝනය මඟින් සිදු කරයි. පාදස්ථ පරිවෘත්තීය වේගය ලෙස එය හඳුන්වයි. තයිරොක්සින් හෝමෝන වර්ග දෙකකි. T4 සහ T3 ලෙස එම හෝමෝන හඳුන්වයි. තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් වැඩිපුරම නිෂ්පාදනය කරනුයේ T4 හෝමෝනයයි.

ශරීරයේ සියලු පරිවෘත්තීය ක්‍රියාවන්ට උපකාර වන මේ හෝමෝනය අඩු වීම නිසා පුද්ගලයාට එය වැඩි කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් අනුව තයිරොක්සින් ඖෂධ ලබා ගැනීමට සිදු වේ. මේ හෝමෝනය අඩු වීම හයිපෝතයිරොඩිසම් (Hypothyroidism) ලෙස හඳුන්වයි.

රෝග ලක්ෂණ

පුද්ගලයකුගේ සිරුරෙහි තයිරොක්සින් හෝමෝනය අඩු වීම නිසා ඇති වන හයිපෝතයිරොඩිසම් රෝගයට බලපාන රෝග ලක්ෂණ කිහිපයකි. දැඩි උදාසීනභාවය, නිදිමත ගතිය, බර වැඩි වීම, සීතල නැති තැන්වලදීත් අධික සීතලක් දැනීම, අධික තෙහෙට්ටුව, බඩ වේළන ගතිය, හිසකෙස් ගැලවී යෑම, සම රළු වීම, නියපොතු ශක්තිමත් නොවීම, මානසික ඒකාග්‍රතාවක් නොතිබීම, විෂාදය වැනි තත්ත්වයක් ඇති වීම, ආහාර රුචිය අඩු වීම, මාංසපේශිවල වේදනාව, හෘදය ආශ්‍රිත ගැටලු ඇති වීම, ලිංගික උදාසීනත්වයක් ඇති වීම, මදසරුභාවය ඇති වීම යනාදි රෝග ලක්ෂණ තයිරොක්සින් හෝමෝනය අඩු වීම නිසා ඇති වේ.

ප්‍රතිකාර

පුද්ගලයෙකුගේ සිරුරෙහි තයිරොක්සින් ගැටලු සම්බන්ධයෙන් රුධිර පරීක්ෂණයක් කිරීමෙන් හඳුනාගත හැකිය. එම පරීක්ෂණය TSH පරීක්ෂණය ලෙස හඳුන්වයි. එම පරීක්ෂණයේ දී වැඩි අගයක් පෙන්නුම් කළහොත් එයින් තයිරොක්සින් ඌනතාව ඇති බවක් පෙන්නුම් කරයි. තයිරොක්සින් ඌනතාවට අතීතයේ හේතු වුණේ ලුණු භාවිතය අඩු වීමය. වර්තමානය වන විට ලුණුවලට අයඩීන් එකතු කිරීම නිසා එමඟින් තයිරොක්සින් අඩු වීම සිදු නොවේ. තයිරොක්සින් හෝමෝනයට එරෙහිව සිරුරෙන්ම හැදෙන ප්‍රතිදේහ නිසා වර්තමානයේ දී පුද්ගලයන් තයිරොක්සින් ඌනතාවට ලක් වේ. කෙනෙකුගේ සිරුරේ තයිරොක්සින් හෝමෝනය නිපදවීම අඩු වුවත් වර්තමානයේ දී ඒ සඳහා ප්‍රතිකාර ද පවතියි. සැබැවින්ම, තයිරොක්සින් ඌනතාව යනු ජීවිතය වෙනස් කරගෙන පාලනය කරගෙන සිටිය යුතු රෝගී තත්ත්වයක් නොවන බව පෙන්වාදිය යුතුය.

මෙම ඌනතාවට මුහුණ දෙන පුද්ගලයකුට අවශ්‍ය ප්‍රතිකාර මොනවාද යන්න අදාළ වෛද්‍යවරයා තීරණය කරයි. වෛද්‍යවරයාගේ තීරණයට අනුව තයිරොක්සින් ඖෂධ ගැනීම කළ යුතුය. තයිරොක්සින් ඖෂධ පුද්ගලයාගේ රෝගයට සරිලන ලෙස සකසා ගැනීමට සාමාන්‍යයෙන් සති 4 සිට සති 6 දක්වා පමණ කාලයක් ගත වේ. වෛද්‍ය උපදෙස් අනුව තයිරොක්සින් ඖෂධ මාත්‍රාව උදෑසන හිස් බඩ පිරිසිදු ජලය වීදුරුවක් සමඟ ලබා ගත යුතුය. එම මාත්‍රාව ගෙන අවම වශයෙන් විනාඩි 30ක් හෝ පැයක් පමණ වෙනත් කිසිදු ආහාරයක් හෝ ඖෂධයක් ලබා නොගැනීම වැදගත්ය.

මිථ්‍යා මත

එසේ කිරීමෙන් තයිරොක්සින් මාත්‍රාව ඉතා හොඳින් සිරුරට අවශෝෂණය කර ගැනීමට ඉඩ ලැබේ. එසේම මේ රෝගය පාලනය සඳහා ආහාර පාලනය අවශ්‍ය නොවේ. තයිරොක්සින් අඩු පුද්ගලයන් ගෝවා, බ්‍රොකලි, රාබු, සෝයා වර්ග යනාදී ආහාර නොගත යුතු බවට සමාජය තුළ පවතින මතය මිථ්‍යාවක් වන අතර එම ආහාර පාලනයක් ඇතිව පුද්ගලයාට පරිභෝජනයට ගත හැකිය.

උපදෙස් – විශේෂඥ වෛද්‍ය,

විද්‍යාජෝති, මහාචාර්ය

ප්‍රසාද් කටුලන්ද

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT