Wednesday, March 26, 2025
Home » මදුරු උවදුරේ බරපතළකම!

මදුරු උවදුරේ බරපතළකම!

by sachintha
February 17, 2025 1:11 am 0 comment

“අප්පච්චිට ඇවිද ගන්නත් බැහැ. දැන් දවස් ගණනාවක් තිස්සේම උණ. ඇඟපත වේදනාව. ක්ලාන්ත ගතියෙන් වගේ, පැදුරටම වෙලා නිදාගෙනමයි දවසම ඉන්නේ. දවස් පඩියට අත්උදවු වැඩකට යන්නත් එයාට දැන් බැහැ. වැඩ තියෙන පායන කාලේ, ඔත්පළ වුණානේ කියලායි එකට වැඩ කරන යහළුවන්ටත් තාත්තා දුකෙන් කියන්නේ. නංගිව දැන් දවස් ගාණක්ම මොන්ටිසෝරි යැව්වෙත් නැහැ. මං ඉස්කෝලේ ගියත්, හිත දිව්වෙම ගෙදරට. ඉතින්, තාත්තා වැඩ කළාම ලැබෙන පඩියෙන් ගෙවන්නම් කියලා අම්මා මේ දවස්වල හන්දියේ කඩෙන් ණයටයි මුළුතැන්ගෙට අඩුම කුඩුම ටික ගෙනෙන්නේත්.

ඒත් තාත්තාට නම් කන්න බොන්නත් බැහැ. පාදවල, ඇඟේ ලප කිහිපයක් පවා ඇවිත් නිසා අපටත් බයයි, ඩෙංගුවත්ද කියලා. ඉතින්, ඇවිද ගන්න අමාරු තාත්තාව වත්තන් කරගෙන අම්මායි, පොඩි අපියි ළඟම රජයේ රෝහලට යන්න වුණෙත්, කුලී ත්‍රීවීලර් එකකින්. ඒ පිළිසරණක් අපේක්ෂාවෙන්. රෝහලේදී තාත්තාගේ ලේ පරීක්ෂාවක් කළා. ඒ ප්‍රතිඵලත් බලලා, අපිට මේ රෝගයේ බැරෑරුම්කම කියා දෙන්නට ආණ්ඩුවේ ඉස්පිරිතාලේ හිටිය දොස්තර මහත්මයා කාරුණික වුණා. ඒ මෙහෙමයි.

“මේ තත්ත්වය චිකන් ගුණ්‍යා කියලා සරලව හඳුන්වනවා. මේ උණ රෝගයක්. වයිරසයකින් බෝ වෙන්නේ. ඒ වයිරසය පතුරුවා හරින්නේ මදුරු විශේෂයක්. අප්‍රිකානු කලාපයෙන් මුලින් වාර්තා වුණත් දැන් මඳුරුවන් සිටින අප වැනි රටවලිනුත් අඩු නැතුව මේ රෝගීන් හමු වෙනවා. උණ වගේම අස්ථි, හන්දි, මස්පිඬු වේදනාව තදින් මේ රෝගීන්ට ඇති වෙනවා. අත් පා, නාසයේ කළු පැහැ ලප ඇති වීමත්, හිසරදය ආදියත් කලක් යන තුරු මේ රෝගීන් තුළ පවතින්න පුළුවන්. ඇතැම් විට මාස ගණනක් යන තුරුත් ඒ ලක්ෂණ පවතිනවා. ඒත්, වයිරස් රෝග තත්ත්වයක් නිසා නිශ්චිත ප්‍රතිකාර මේ සඳහා නැහැ. පැරසිටමෝල්, වේදනා නාශක ආදී ඖෂධයි දෙන්නේ. විවේකය මේ රෝගීන්ට ඉතා වැදගත්.

ඇත්තෙන්ම, මදුරුවන් බෝ වන තැන් විනාශ කරමින්, අවට පරිසරය පිරිසුදුව තබා ගන්නවා නම් මෙහෙම දෙයක් වෙන්න ඉඩක් නැහැ. ඒක හැමෝගෙම වගකීමක්. නිවහන පමණක් නෙවෙයි, අවට පරිසරයේ පාසල්, රෝහල්, පොදු ස්ථාන විතරක් නෙවෙයි, වැඩි දෙනකු නොරැඳෙන පාළු ඉඩකඩම්, නිතර මිනිසුන් නොරැඳෙන ඉදිකිරීම් වැඩබිම් ආදියේත් ඩෙංගු වගේම චිකුන් ගුණ්‍යා ආදී වයිරස් රෝග පතුරුවන මදුරුවන් කොතෙකුත් බෝ වෙනවා. මේ බරපතළ වගකීම සමාජයේ කාටත් පොදුයි. එහෙම නැතිව සෞඛ්‍ය අංශවලට, පළාත් පාලන ආයතනවලට හෝ තනිව මේ උවදුරෙන් අප මුදවිය නොහැකියි. අපි කවුරුත් ගෙවත්ත පිරිසුදු කිරීමට දිනපතා කෙටි කාලයක් හෝ මිඩංගු කළ යුතුයි. එවිට සමාජයෙන් ඩෙංගු ආදී වයිරස් රෝග මුලිනුපුටා දැමීම අපහසු නැහැ….’

උපදෙස් – රිජ්වේ ආර්යා ළමා රෝහලේ

ළමා රෝග විශේෂඥ වෛද්‍ය,

දීපාල් පෙරේරා

නුවන් ජයවික්‍රම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT