“ මොකද්ද වගේ වුණා ඇහුවම, මොනවා වෙලා ද එයා නැතිවෙලා තියෙන්නෙ? හාට් ඇටෑක් එකක්ලු නේද? ඊයේ අපිත් එක්ක ඉඳලා, ප්‍රයිඩ් රයිස් එකකුත් අරගෙනයි ගෙදර ගියේ. පව්…”
මේ විදිහේ වේදනාබර කතා අද සමාජයෙන් කොතෙකුත් අහන්න ලැබෙනවා. ඇත්තටම අපිට මේකෙන් බේරෙන්න විදියක් ඇත්තෙම නැද්ද?
හෘදයාබාධයක් කියන්නේ කල් නොයවා ප්‍රතිකාර ගත යුත්තක්. ලොව පුරා සිදුවන මරණ අතුරෙන් හෘදයාබාධ ප්‍රමුඛස්ථානයට පත්ව තිබෙනවා. වැරදි ආහාර, සෞඛ්‍ය පුරුදු, ඇබ්බැහිකම් මෙයට බලපානවා. දුම්පානය, මත්පැන් වගේම ක්ෂණික ආහාරත් මෙහිදී ඉතා අහිතකරයි. ව්‍යායාම් අඩුකමත් මේ සඳහා නරකට බලපානවා. හෘදය වස්තුවේ කිරීටක ධමනි අවහිර වීමෙන් තමයි මේ අවදානම් තත්ත්වය ඇති කරන්නේ. කාලයක් තිස්සේ කිරීටක ධමනි බිත්තිවල කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් ඇති කරන බලපෑම වන්නේ රුධිර නාළ සිහින් වීමයි. ඒ තුළින් මෙම නාළවල රුධිර කැටි ජනනය වීමට ඇති අවස්ථා එමටයි. ඉන් ඇතිවන රුධිර කැටියකින් සියුම් නාළ අවහිර වී හෘදයාබාධ තත්ත්වයක් ඇති විය හැකියි.
ලක්ෂණ
හෘදයාබාධයක් වැළඳීමේ රෝග ලක්ෂණ එකවරම පෙන්නුම් නොකෙරේ. එය පෙන්නුම් කරන්නේ ටිකෙන් ටික ය. නිවෙසේදී වෙන යම් ස්ථානයකදී පඩිපෙළක් නගිනවිට තරප්පු පෙළක් නගිනවිට හෝ උස් ස්ථානයකට නඟින විට, කෙටි දුරක් ඇවිද යන විට හෝ නැවතී සිටින විට පපු කුහරය මැද සිර වීමක් වැනි තත්ත්වයක් ඇතිවී අත්වලට, නාභියට ද වේදනාව ඇති වන්නේ නම් එය හෘදයාබාධයක ලක්ෂණයක්.
එමෙන්ම ශ්වාස නාළය තද වුවහොත්, හුස්ම ගැනීමේ අපහසුතාවත් ගලනාළය තදවුවහොත්, ගිලීමේ අපහසුතාවක්, බෙල්ලේ වේදනාව, අත් හිරිවැටීම ආදී ආබාධිත තත්ත්වයන් මඟින් ද හෘදයාබාධයක පෙර ලකුණු පෙන්නුම් කරනවා. එවැනි රෝග ලක්ෂණ ඇතොත් වහාම රෝහලකට ගෙන යා යුතුයි. ඔබ දුම් බොන්නකු නම්, දියවැඩියා රෝගයෙන් පෙළෙන්නකු නම් කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය වැනි රෝගයන්ගෙන් පෙළෙන්නේනම් හෘදයාබාධයක් වැළඳීමේ අවධානම ඉතා වැඩිය. එළවළු වැඩිපුර ආහාරයට ගැනීම වැදගත්ය. එසේම, කෙඳි සහිත ආහාර ද ගුණදායකය. පැපොල් ඇතුළු පලතුරු ද ධාන්‍ය වර්ග ද ආහාරයට ගැනීම වඩාත් සුදුසුය. සීනි, පැණි, හකුරු, කේක්, ටොෆි, චොක්ලට්, ජෑම් වර්ග, අයිස්ක්‍රීම්, බේකරි කෑම වගේම පැණි රසැති කෑම වර්ග ද කෑමෙන් වැළකිය යුතුය.
උපදෙස් – හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
භාතිය රණසිංහ
බී. ඇල්. ප්‍රේමරත්න