Wednesday, March 26, 2025
Home » උතුරේ අධ්‍යාපනයේ ඇති ගැටලු කඩිනමින් විසඳනවා
සියලු දරුවන්ට අධ්‍යාපනයේදී සමතැන:

උතුරේ අධ්‍යාපනයේ ඇති ගැටලු කඩිනමින් විසඳනවා

-අගමැතිනි යාපනයේදී කියයි

by sachintha
February 17, 2025 3:44 am 0 comment

ශ්‍රී ලංකාවේ සෑම දරුවකුටම උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබාදීම නව රජයේ අරමුණ හා ප්‍රතිපත්තිය හෙයින් යාපනය ඇතුළු උතුරේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැන නැඟී ඇති සෑම ගැටලුවකටම ඉතා ඉක්මනින් විසඳුම් ලබා දෙන බව අගමැතිනි හා අධ්‍යාපන ඇමැති හරිනී අමරසූරිය මෙණෙවිය පසුගියදා (15) යාපනයේදී ප්‍රකාශ කළාය.

අගමැතිනිය එසේ ප්‍රකාශ කළේ දින දෙකක් යාපනය කිළිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල කළ සංචාරයේදී උතුරේ අධ්‍යාපන නිලධාරීන් හා ජනතාව අමතමිනි.

මෙහිදී තවදුරටත් අගමැතිනිය මෙසේද පැවැසුවාය. උතුරේ අධ්‍යාපන නිලධාරීන් රැසකගේ හිඟයක් පවතින බවට ලැබුණු තොරතුරු මත ඉදිරි කාලයේදී පළාතේ සුදුසුකම් ඇති නිලධාරීන්ගෙන් පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන බවත් ගුරු හිඟයටද ඉතා ඉක්මන් විසඳුමක් ලබා දෙන බවත් කියා සිටියාය.

රටේ සියලු දරුවන්ට අධ්‍යාපනයේදී සමානාත්මතාවක් හිමිවිය යුතු බවත් ජාතීන් වශයෙන් හෝ ආගම් වශයෙන් හෝ වෙනත් නිර්ණායක ඔස්සේ සිසුන් වර්ග කිරීමක් සිදු නොකරන බවත් අගමැතිනිය යාපනයේදී ප්‍රකාශ කළාය. යාපනයට පැමිණි අගමැතිනිය යාපනයේ ජනතාව විසින් ඉතා උණුසුම් හා සුහදශීලීත්වයෙන් පිළිගත් අතර කෝපායී අධ්‍යාපන විද්‍යා පීඨයට ගොස් නවීකරණය කළ නව පුස්තකාලය විවෘත කළ අතර එහි බලධාරීන්, ගුරු සිසුන් සමඟ අදහස් හුවමාරු කර ගත්තාය.

අනතුරුව ජාතික මට්ටමේ විභාගවලදී යාපනයේ විශිෂ්ට ප්‍රතිඵල පෙන්නුම් කරන හින්දු විද්‍යාලයට ගොස් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සමඟ අධ්‍යාපන ගැටලු ගැන සාකච්ඡා කළ අතර සිසුන්ට ඉගෙනීමේ කටයුතු ලබා දෙන ආකාරය ද නිරීක්ෂණය කළාය. යාපනයේදී තවත් උත්සව අවස්ථා කීපයකට හා ජනතා හමුවීම් කීපයකට සහභාගී වූ අගමැතිනිය සුළිපුරම් මුත්තුමාරී අම්මාන් කෝවිල් භූමියේ පැවති මහජන රැස්වීමකටද අගමැතිනිය සහභාගී වූවාය.

මෙහිදී යාපනයේ ජනතාව ඔවුන්ට මුහුණපෑමට සිදුව ඇති ප්‍රශ්න හා ගැටලු රැසක් පිළිබඳව අගමැතිනිය සමඟ සාකච්ඡා කළේ ඉතාම ළෙන්ගතු ස්වාභාවයකිනි. ධීවර ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර්, ජාතික ජනතා බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයචන්ද්‍රමූර්ති රජීවන් සහ ෂන්මුගනාදන් ශ්‍රීපවනන්දරාජා, පක්ෂ ආසන සංවිධායකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවලට සහභාගි වූහ. අගමැතිනිය 16දා කිළිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබිණි.

උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT