ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කරනු ලැබ සිටිති.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පසුගියදා(14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී උන්වහන්සේ වෙත පිළිගැන්වීය.
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත් වූ ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් හරන්කහව, මොලගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දරති. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් ධුරය ද දරන උන්වහන්සේ හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය ද හොබවා තිබේ.
දෙනිකේ ආනන්ද ස්වාමින් වහන්සේ, කරගස්වැව වජිර ස්වාමින් වහන්සේ, විතාරන්දෙණියේ නන්ද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ගිහි පැවිදි පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර පත්වීම් ලිපිය පිළිගැන්වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා මහා සංඝරත්නය ප්‍රමුඛ පිරිස සමඟ සුහද සාකච්ඡාවක්ද පැවැත්වීය.
උපාලි කරුණාරත්න