විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර ඇති බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය.
අගමැතිනිය මේ බව පැවැසුවේ අරලගංවිල මහවැලි රංග ශාලාවේ පැවති ජනහමුවකිදීය.
ජනතාව රටේ පරිවර්තනයක් බලාපොරොත්තුවෙන් පසුගිය මැතිවරණයෙන් මේ ආණ්ඩුව බලයට පත් කළ බව අගමැතිනිය කීවාය.
ජනතාව තැබූ බලාපොරොත්තු ඉටු කිරීමේ වගකීමක් ආණ්ඩුව සතුව තිබෙනවා. ඒ වෙනුවෙන් සියලු ක්ෂේත්‍රවල අධ්‍යයනයක් කර, දත්ත මත පදනම්ව පරිවර්තනයන් සිදු කරන බව පැවැසුවාය.
අගමැතිනිය වැඩිදුරටත් මෙසේද පැවැසුවාය. ආණ්ඩුව මේ රටේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්න කටයුතු කරනවා. මෙවර අයවැයෙන් අධ්‍යාපනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන්න ක්‍රියා කරනවා. ගිය ආණ්ඩු ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ප්‍රතිපත්තිවල ගුරුවරුන් වෙනුවෙන් නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබුණේ නැහැ. අපේ රජය වැඩි අවධානයක් ලබා දෙනවා ගුරුවරුන්ගේ ආකල්ප සංවර්ධනය කරන්න.
මෙතෙක් කලක් ගුරුවරුන්, විදුල්පතිවරුන්, පත්කිරීම්, මාරු කිරීම් කර තිබෙන්නේ දේශපාලන බලපෑම් මතයි. ඒ තත්ත්වය යළි ඇති වෙන්නේ නැහැ. අද රාජ්‍ය නිලධාරීන් දේශපාලන බලපෑම්වලින් තොරව සතුටින් රාජකාරි කරනවා. ගුරු, විදුහල්පති සහ අධ්‍යාපන පරිපාලන පුරප්පාඩු ගණනාවක් තිබෙනවා. ඇතැම් ස්ථාන මාරුවීම් නිසි පරිදි සිදු වී නෑ. ගුරු විෂමතාව ඉවත් කර සියලු විෂයන් වෙනුවෙන් ගුරුවරුන් පාසල්වලට ඉදිරියේදී දෙනවා.
පොලොන්නරුව දිස්ත්‍රික්කයට මම ආවේ මේ ප්‍රදේශයේ අධ්‍යාපන තත්ත්වය සොයා බලන්න. සමහර පාසල්වල ගුරුවරු නැහැ. යටිතල පහසුකම් නැහැ. නමුත් පොලොන්නරුව නගරයට ගියාම විශාල සැප පහසු ගොඩනැඟිලි ගණනවාක් තිබෙනවා. පොලොන්නරුවේ ගොඩනැඟිලි ඉදිකරන්න කෝටි හයදහසක් පමණ වැය කර තිබෙන බව අනාවරණය වුණා. නමුත් පාසල් දරුවන්ට හරියට වැසිකිළියක් හදලා දීලා නෑ.
නිවාස සංවර්ධන නියෝජ්‍ය ඇමැති ටී.බී. සරත් මහතා-
ඉතිහාසයේ ගොවියාට කිසිම දවසක නොලැබුණු ලාභයක් අපේ රජයෙන් ලබා දී තිබෙනවා. නිෂ්පාදන වියදම ඉවත් කර 30%ක ලාභයක් ජනතාවට දී තිබෙනවා. මේක විපක්ෂයට දරා ගන්න බැරුව රජයට බොරු චෝදනා කරනවා. අපේ චරිතවලට මඩ ගහන්න විපක්ෂයට හේතු නෑ.
ඒ නිසා සමහර මාධ්‍ය අල්ලාගෙන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට බොරු චෝදනා ගේනවා.බංකොලොත් දේශපාලකයන්ට හෝ ගොවි නියෝජිතයන්යැයි කියාගන්න කොළඹ හතේ ඉන්න අයට නොවෙයි සහතික මිලක් දී සහනය දුන්නේ.සහන දුන්නේ ජනතාවට බත සපයන ගොවියාටයි.
නුවන් කොඩිකාර