පින්නවල අලි අනාථාගාරය ආරම්භ කර වසර 50ක් පිරීම නිමිත්තෙන් ඊයේ (16) පින්නවල අලි අනාථාගාරයේ දී සැමරුම් උත්සවයක් පරිසර ඇමැති ධම්මික පටබැදිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කෑගල්ලේ ඇමැතිවරයකුව සිටි අභාවප්‍රාප්ත පී.බී.ජී. කළුගල්ල මහතා විසින් කැලෑවල අතරමං වී තුවාල ලබා සිටින අලි ඇතුන්ට ප්‍රතිකාර ලබාදෙන මධ්‍යස්ථානයක් ලෙස 1975 පෙබරවාරි 16 වැනිදා වනජීවි දෙපාර්තමේන්තුව මැදිහත්ව පින්නවල අලි අනාථාගාරය කදිරා, විජය, මාතලී, කුමාරි සහ නීලා නමැති අලි පස් දෙනාගෙන් ආරම්භ කර තිබේ. 1978දී සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතට පවරාගෙන දැනට ආරම්භක පස් දෙනාගෙන් කදිරා, විජය මිය ගොස් ඇති අතර සෙසු තිදෙනා සමඟ දැනට අලි ඇතුන් 83ක් සෙවණ ලබති.
ඊයේ (16) පෙරවරුවේ පින්නවල අලි අනාථාගාරයේ දී සැමරුම් උත්සවයක් සංවිධාන කර තිබිණි. ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවය ලෙස මෙය නම් කර තිබිණි. පරිසර ඇමැති ධම්මික පටබැදිගේ, නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි මහත්වරුන් ඇතුළු ආරාධිතයන් පිරිස අලි අනාථාගාර පරිශ්‍රයට පැමිණීමෙන් පසු පිළිගනු ලැබුවේ සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා විසිනි.
පින්නවල අලි අනාථාගාර භූමියේ ඉදි කර තිබුණු අලියකුගේ අනුරුවක් ඇමැති ධම්මික පටබැදිගේ මහතා අතින් විවෘත කෙරිණ. පසුව 50 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂයෙන් පිළියෙල කර තිබුණු කිරිබත ඇමැතිවරයා අතින් අතින් කපා අලි ඇතුන්ට පලතුරු සමඟ ලබාදීම සිදු කෙරිණි. පසුව චිත්‍ර හා නිසදැස් තරගාවලියේ ජයග්‍රහක ජයග්‍රහිකාවන් වෙනුවෙන් ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි. ඇමැතිවරයා විසින් සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතාට සමරු තිළිණයක් ප්‍රදානය කෙරිණි. විදේශිකයන් පස් දෙනකුට ද මෙහිදී සමරු තිළිණ ප්‍රදානය කෙරිණි.
පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැදිගේ, නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි, සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ, සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී, රඹුක්කන ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර, පින්නවල අලි අනාථාගාරයේ සහකාර අධ්‍යක්ෂ මිහිරාන් මැදවල මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
කෑගල්ල විශේෂ – චමින්ද ජයලත්