පවතින කාලගුණික තත්ත්වය නිසා ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබෙන බවත් මේ සම්බන්ධයෙන් රජයක් ලෙස ගන්නා පියවර මොනවාදැයි රටට හෙළි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පසුගියදා (14) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.
‘විදුලි බලය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ දැඩි අර්බුදයක් හටගෙන තිබෙනවා. පසුගිය රජයන් විදුලි අර්බුදයට පිළියමක් ලෙස සාම්පූර් වැනි බලාගාර ඉදිකරන්න ආයෝජකයන්ට ආරාධනා කර තිබුණා. ඒ ආයෝජන සම්බන්ධයෙන් විරෝධතා පවත්වා එම ආයෝජකයන්ට ව්‍යාපෘති කරගෙන යෑමට ජනතා විමුක්ති පෙරමුණ ඉඩ දුන්නේ නැහැ. විශාල ආයෝජකයන් පිරිසක් ලංකාවේ කර්මාන්ත ඇති කරන්න සූදානමින් සිටියා. නමුත් ඒ කිසිදු ආයෝජකයකුට රට තුළ කිසිදු කර්මාන්තයක් ඇති කිරීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ එදා ඉඩ දුන්නේ නැහැ. කෙසේ නමුත් පසුකාලීනව හෝ ආයෝජනවල තිබෙන වැදගත්කම ජනතා විමුක්ති පෙරමුණට වැටහීම ගැන අපට සතුටුයි. ආයෝජකයන් නොමැතිව ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට නොහැකි බව අද ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික ජන බලවේග කණ්ඩායමට වැටහී තිබෙනවා.
ඒ වගේම වර්තමාන ආණ්ඩුව ආයෝජකයන්ට ආරාධනා කළත් ආයෝජකයන්ට කර්මාන්ත ඇති කිරීමට තරම් හිතකර පරිසරයක් තවමත් ලංකාව තුළ නිර්මාණය වෙලා නැහැ. තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීන රජය ආයෝජනය කරන බව සඳහන් කර තිබුණත් තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට රජය අපොහොසත් වී තිබෙනවා. ලංකාවේ විදුලිය සම්බන්ධයෙන් ආයෝජන සිදු කරන්න ඉන්දියාවේ අදානි සමාගම සූදානමින් සිටියා. ලංකාවේ විදුලිබල ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අදානි හෝ වෙනත් සමාගමක් ලංකාව තුළ ආයෝජනය කිරීම මේ මොහොතේ ඉතාමත් වැදගත්. ලංකාව විදුලිබල අර්බුදයකට ගමන් කරමින් තිබෙන මොහොතක මෙවැනි ආයෝජන රටට ඉතාමත් වැදගත්.
රක්ෂණ ශ්‍රියන්ත