කාන්තාව සවිබල ගැන්වීම, ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුව සැලකිය යුතු උත්සාහයක් ගෙන තිබෙන බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
ඇමැතිතුමිය මේ බව පවසා සිටියේ පසුගියදා (13) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් තුරන් කිරීමේ කමිටුවෙහි (CEDAW) 90 වැනි සැසියේ 2134 වැනි හමුව අමතන අවස්ථාවේදීය.
වැඩිදුරටත් ඇමැතිතුමිය පවසා සිටියේ ශ්‍රී ලංකාව සමාලෝචනයට විවෘතභාවයෙන් යුතුව සහභාගි වූ බවත් කමිටුව ලබා ඇති ප්‍රගතිය සහ එය මුහුණදුන් අභියෝග අගය කරන බවයි. තවද රජය කාන්තාවන් මුහුණදෙන ගැටලු විසඳීමට සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවත් පෝල්රාජ් මහත්මිය මෙහිදී පවසා සිටියාය.
මෙවර මෙම සැසිය සඳහා ප්‍රථම වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා හා ළමා කටයුතු විෂය භාර අමාත්‍යවරිය සහභාගි වූ අතර, සෙසු නියෝජිතයන් ලෙස ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිනිය හිමාලි අරුණාතිලක, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා බාලපටබැඳි, ළමා හා කාන්තා අපයෝජන විමර්ශන භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
දුලක්ෂි උඩගෙදර