ව්‍යාජ ලේඛන සකසා වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ලෑන්ඩ් කෲසර් රථයක් ඇතුළු සුඛෝපභෝගී ජීප් රථ තුනක් සමඟ ගරාජ් හිමියකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව, දිවුල්පිටිය ප්‍රදේශයේ පදිංචි (63) හැවිරිදි මෝටර් රථ අලුත්වැඩියා කරන්නෙකු බව පොලීසිය කියයි.
කූට ලේඛන සකසා ජාවාරම් කරන වාහන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයකට අදාළව ලද තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැටලීම සිදු කර තිබුණි. එහිදී ජාලගත වංචා විමර්ශන ඒකකයේ නිලධාරී කණ්ඩායමක් කහතුඩුව, රුක්මල්ගම හා බොරලැස්ගමුව ප්‍රදේශවල ස්ථාන තුනක සඟවා තිබූ ලෑන්ඩ් කෲසර් වර්ගයේ ජීප් රථයක් ඇතුළු ජීප් රථ තුනක් භාරයට ගෙන තිබේ.
ඉන් එක් වාහනයක භාරකරු මේ සමඟ අත්අඩංගුවට ගෙන තිබූ අතර අනෙක් වාහන දෙකෙහි සැකකරුවන් වාහනවලට කූට ලේඛන සැකසීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් භාරයට ගත් රථ දෙකක් යක්කල හා කඩවත ප්‍රදේශවලින් ඉතා අඩු මිලට මිලදී ගෙන තිබූ අතර අනෙක් වාහනයේ හිමිකරු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය. මෙම වාහන ඉතා අඩු මිලට මිලදී ගෙන එහි චැසි අංක හා දත්ත පද්ධති ව්‍යාජව සකස් කොට දොර තුන පහක් දක්වා වැඩි කොට නීති විරෝධී ලෙස එකලස් කොට රුපියල් ලක්ෂ පනහේ සිට ඉහළට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙසේ නීති විරෝධීව එකලස් කළ වාහන 400ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට අයත් ජාලගත වංචා විමර්ශන ඒකකය මඟින් විමර්ශන සිදු කරන අතර ඉන් වාහන 21ක් මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ජීප් රථ තුන සහ සැකකරු මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න මහතාගේ නියෝග හා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරී කමල් පලිහක්කාර මහතාගේ උපදෙස් මත ජාලගත වංචා විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසේකර මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන තිවංක දසනායක, සහන් එදිරිසිංහ, මලිත් බණ්ඩාරවත්ත පො.කො (93012) ලහිරු (94984) තෙන්නකෝන් (37942) ප්‍රියශංක (97501) ජයරත්න (104902) රුක්ෂාන් පො.කො.රි (99888) දිසානායක (100931) නාමල් ඇතුළු නිලධාරීහු වැටලීම සිදු කොට ඉදිරි පරීක්ෂණ පවත්වති.
කොට්ටාව – ප්‍රදීප් කුමාර