Home » මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් ශරීර ඇප මත නිදහස්

මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් ශරීර ඇප මත නිදහස්

by sachintha
February 17, 2025 1:56 am 0 comment

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට නියෝග කළ මල්ලාකම් මහේස්ත්‍රාත්වරිය වන ගායත්‍රී සෙල්වන් මහත්මිය අදාළ නඩුව 2025 ජූනි මස 26 වැනිදා විභාගයට ගන්නා බව ප්‍රකාශයට පත් කළාය.

කන්කසන්තුරේ තිස්ස විහාරය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීම් විරෝධතා පැවත්වීම් තහනම් කරමින්ද ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට දින තුනක කාලයකට එම ප්‍රදේශයට යෑමට අවසරයක් නොමැති බවට ද අධිකරණය නිකුත් කරන ලද නියෝගයක් මායිම් නොකොට අධිකරණයට අපහාස වන අන්දමට මන්ත්‍රීවරයා ක්‍රියා කිරීම නිසා ඔහුට මල්ලාකම් අධිකරණයේ පෙනී සිටින ලෙසට කළ නියෝගයකින් පසුව ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මුලින් නිකුත් කළ අදාළ අධිකරණ නිවේදනය නිසියාකාරව නොලැබීම නිසා මේ තත්ත්වය උද්ගත වූ බවත් අධිකරණයට අපහාස කිරීමට කිසිදු චේතනාවක් මන්ත්‍රීවරයාට නොතිබූ බවත් තිස්ස විහාරය සම්බන්ධයෙන් ඔහුට අයත් නොවන ඔහු නමින් සකසන ලද ව්‍යාජ ෆේස්බුක් ගිණුමකින් විරෝධතා ඉදිරිපත් කෙරුණු බවත් මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එස්. මහින්දන් මහතා අධිකරණයට පෙන්වා දීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මන්ත්‍රීවරයාට ඇප ලබා දෙන ලදී.

නමුත් මෙම විහාරය ඉදිරිපිට විරෝධතාව දැක්වීම සම්බන්ධයෙන් හා විහාරස්ථානය කඩා බිඳ දැමිය යුතු බවට ප්‍රකාශයන් ඇතුළත් වූ ෆේස්බුක් ගිණුම ගැන විමර්ශන ආරම්භ කොට ඒ ගැන වාර්තවක් මීළඟ නඩු දිනයට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට කන්කසන්තුරේ පොලීසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය අදාළ නඩුව ඉන් පසුව විභාගයට ගන්නා බවද ප්‍රකාශ කළාය.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT