Home » 2024 වසරේ පාරිභෝගික නීති කැඩූ 23,953කට නඩු කෝටි 22ක දඩත් ගහලා

2024 වසරේ පාරිභෝගික නීති කැඩූ 23,953කට නඩු කෝටි 22ක දඩත් ගහලා

by sachintha
February 17, 2025 12:58 am 0 comment

වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු අලෙවි විධිවිධාන කඩ කරමින් නීති විරෝධීව වෙළෙඳාමේ යෙදුණු 23,953කට එරෙහිව නඩු පැවරීමෙන් ඉකුත් වසරේදී (2024) රුපියල් කෝටි 22ක් රජයට අය කර දීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් 2024 වසරේ වැටලීම් 24,761ක් කර තිබෙන අතර ඉන් 23,953 දෙනකුට නඩු පැවරීම් තුළින් මහේස්ත්‍රාත් අධිකරණ මඟින් මේ දඩ මුදල නියම කර ඇත. මෙසේ අය කර ගැණුනු සම්පූර්ණ මුදල රුපියල් බිලියන 207 කි.

එමෙන්ම දැනට නඩු පැවරීම් සිදුකර නොමැති වැටලීම් සඳහා කඩිනමින් නඩු පැවරීම් සිදු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී ඇත. අදාළ වැටලීම්වලදී උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල තොරතුරු සඳහන් නොකිරීම, තොරතුරු වෙනස් කිරීම, ලකුණු කළ මිල වෙනස් කර වෙනත් මිලක් සඳහන් කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, විදුලි උපාංග සඳහා වගකීම් කාලයක් ලබා නොදීම, තොග සඟවා තබා ගැනීම, විධිමත් බිල්පතක් නොදීම, තරග විරෝධි චර්යාවල යෙදෙමින් වෙළෙදාම් සිදු කිරීම සහ කොන්දේසි සහිතව භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත උල්ලංඝනය කරමින් වෙළෙඳුන් විසින් සිදුකරන ලද වැරදි සම්බන්ධව මෙම වැටලීම් සිදුකර ඇත.

අදාළ වැටලීම්වලදී ආහාර වර්ග, රූපලාවණ්‍ය ද්‍රව්‍ය හා ඖෂධ ගොඩනැඟිලි ද්‍රව්‍ය, විදුලි උපකරණ ඇතුළු විවිධ පාරිභෝගික භාණ්ඩ ආවරණය කර තිබුණු අතර එහිදී වැඩිම වැටලීම් ප්‍රමාණයන් ලෙස සහල් සම්බන්ධව වැටලීම් 3,114ක්, පාන් සම්බන්ධව වැටලීම් 1,624ක් සහ බිස්කට් සම්බන්ධ වැටලීම් 1,086ක් ලෙස සිදුකර තිබිණි.

වැටලීම් කිරීමේදී සුපිරි වෙළෙඳසල්, ආපනශාලා, ඖෂධ අලෙවිසල්, නිමි ඇඳුම් වෙළෙඳසල්, ජංගම දුරකතන හා විදුලි උපාංග අලෙවිසල්, ගොඩනැඟිලි ද්‍රව්‍ය වෙළෙඳසල් හා රූපලාවණ්‍ය ද්‍රව්‍ය අලෙවිසල් ප්‍රධාන වශයෙන් විමර්ශනවලදී පරීක්ෂාවට ලක්කර තිබිණි.

සියලුම දිස්ත්‍රික්කවල මෙම වැටලීම් ක්‍රියාත්මක කළ අතර වැඩිම වැටලීම් සිදුකළ දිස්ත්‍රික්ක අතරින් ප්‍රධාන වශයෙන් කුරුණෑගල, ගම්පහ, මහනුවර, කෑගල්ල, පුත්තලම, අනුරාධපුර, අම්පාර, මඩකළපුව, මාතර යන දිස්ත්‍රික්කයන් වර්ෂය තුළ එක් දිස්ත්‍රික්කය තුළ දහසකට වැඩි ප්‍රමාණයක් වැටලීම් සිදුකර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ එම වසර තුළදී වැටලීම් 2,282ක් සිදුකර ඇත.

2025 වර්ෂයේදී පාරිභෝගිකයන් විසින් සිදුකර ඇති පැමිණිලිවලට කඩිනමින් පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර දිවයිනපුරා වෙළෙඳසල් පරීක්ෂා කිරීමටත්, උපායදූතයන් මඟින් වෙළෙඳුන් විසින් සිදුකරනු ලබන වැරදි හඳුනාගෙන නීතිමය පියවර ගැනීමටත් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

දුලක්ෂි උඩගෙදර, මලිදු තෙන්නකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT