මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 13 දෙනකු නිදහස් කරගෙන තිබේ. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයන් 11 දෙනකු සහ තරුණියන් දෙදෙනකු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඔවුන් වයස අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අතර ඔවුන් දැනට ආරක්ෂිතව සිටින බව ද මුදාගත් පිරිස තායිලන්ත දේශ සීමාවේ සිට බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ඒමට නියමිත අතර එහිදී ඔවුන් ඉදිරි දිනකදී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව ද එම අමාත්‍යාංශය කියයි. මේ අතර තවත් සිව්දෙනකු මියන්මාරයේ වෙන් වෙන් වශයෙන් වූ සයිබර් අපරාධ කඳවුරුවල සිටින බව ද ඔවුන් ද හැකි ඉක්මනින් බේරා ගැනීමට කටයුතු කරන බව ද විදේශ කටයුතු ආරංචි මාර්ග පවසයි.
විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා පසුගියදා තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා හා මියන්මාරයේ නියෝජ්‍ය අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවලදී මෙම සයිබර් අපරාධ කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට සහාය දෙන ලෙස ඉල්ලා සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ශ්‍රී ලාංකියන් පිරිස බේරා ගැනීමට හැකිවී තිබේ.
මේ අතර මියන්මාරයේ ශ්‍රී ලංකා තනාපතිනි ප්‍රභාශිනී පොන්නම්පෙරුම මහත්මිය ඇතුළු මියන්මාරයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ මැදහත්වීමෙන් පරිගණක අපරාධකරුවන්ගේ ග්‍රහණයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයන් ද මුදා ගැනීමට කටයුතු කරමින් පවතී.
මහින්ද අලුත්ගෙදර