බළන්ගොඩ නගරයේ ප්‍රධාන වීදියේ ඇති තට්ටු තුනකින් යුත් සතොස ගොඩනැඟිල්ල දැනට වසර පහකට ආසන්න කාලයක සිට භාවිතයට නොගෙන අත්හැර දමා ඇති බව ජනතාව පෙන්වා දෙති.
මෙවැනි ගොඩනැඟිල්ලක් නැවත අලුතින් ඉදිකිරීමට රුපියල් කෝටි ගණනක් වැය කිරීමට සිදු වන බවද ජනතාව පවසති.
මේ වන විට එම සතොස ගොඩනැඟිල්ලේ ඉහළ මහලේ වල්පැළ පවා පැළවී තිබෙන බව ජනතාව පෙන්වා දෙති. මෙම ගොඩනැඟිල්ල මේ වන විට අනතුරුදායක තත්ත්වයක තිබෙන බවද ජනතාව අවධාරණය කර සිටිති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජී.ඩබ්ලිව්. වසන්ත මහතා,
“ජනතාවට විශාල සේවයක් ලබා ගැනීමට හැකි තුන් මහල් ගොඩනැඟිල්ලක් තමයි මෙලෙස භාවිතයට නොගෙන වසා දමා තිබෙන්නේ. බළන්ගොඩ නගරයේ ප්‍රධාන වීදිය කියන්නේ නගරයට හැම පැත්තකින්ම පැමිණෙන ජනතාව ගැවසෙන ප්‍රදේශයක්. ඉතින් එම ස්ථානයේ තිබුණු සතොස වෙළෙඳසල කුලී පදනම මත වෙනත් පෞද්ගලික ගොඩනැඟිල්ලකට ගෙන ගොස් මෙම ගොඩනැඟිල්ල මෙලෙස භාවිතයට නොගෙන අත්හැර දැමීමට පසුගිය රජයන් පැවැති කාලවලදි කටයුතු කර තිබෙනවා. සියලු පහසුකම් තිබෙන මෙම ගොඩනැඟිල්ල වසා දමා පෞද්ගලික ගොඩනැඟිල්ලකට විශාල කුලී මුදලක් ගෙවා සතොස වෙළෙඳසල පවත්වාගෙන යනවා. ඉතින් පාරිභෝගිකයන් ලෙස අපි ඉල්ලා සිටින්නේ මෙම ගොඩනැඟිල්ල යළි ප්‍රතිසංස්කරණය කර නැවත සතොස වෙළෙඳසල මෙම ස්ථානයට ගෙන ඒම සඳහා නව රජයේ බලධාරීන්ගේ හරි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බළන්ගොඩ හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රී ශාමන්ත අබේරත්න මෙසේ පැවසීය. –
“බළන්ගොඩ නගරයේ ප්‍රධාන වීදියේ ඇති අත්හැර දමා තිබෙන තට්ටු තුනේ සතොස ගොඩනැඟිල්ල පිහිටලා තියෙන්නේ ජනතාව, පදික වෙළෙඳසල් සහ පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසක් ගැවසෙන ප්‍රදේශයක. මෙය අලුත්වැඩියා කරනවා කියලා වසර ගණනක් තිස්සේ අත්හැර දැමීම හේතුවෙන් මෙහි ඉහළ කොටස ගරා වැටෙමින් තිබෙනවා. ඉහළ කොටසේ බිත්තිවල ගස් කොළන් පැළවෙනවා කියන්නේ දිරාපත් වෙලා කියන එක. මෙය පාවිච්චි කරනවානම් එහි අවදානම් තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය වෙනවා. නමුත් මෙහි ඉහළ කොටසේ අවදානම් තත්ත්වය මතුපිටට පෙනෙන්නේ නැහැ. ඉහළ කොටසේ බිත්තියක් හෝ කඩා වැටීමක් හෝ සිදු වුවහොත් ජීවිත රැසක් විනාශ වෙන්න පුළුවන්. ඒ අවදානම භාර ගන්නේ කවුද? ඒ වගේම මෙවැනි වටිනා ගොඩනැඟිල්ලක් ඉතා සුළු මුදලක් යොදා ප්‍රතිසංස්කරණය කිරීමේ හැකියාව තිබියදී වෙනත් පෞද්ගලික ගොඩනැඟිල්ලකට මුදල් ගෙවීමත් අපරාධයක්. මේක තව කාලයක් මෙහෙම අත්හැර දමා විනාශ වෙන්න ඉඩ හැරියොත් මෙවැනි ගොඩනැඟිල්ලක් අලුතින් ඉදිකරන්න කෝටි ගණනක් වැය කරන්න වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් නව රජයේ වෙළෙඳ අමාත්‍යාංශයේ අවධානය යොමු කර මෙම වටිනා දේපොළ ආරක්ෂා කර ජනතාවට ඵලදායි සේවාවක් සැපයීම සඳහා අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා.”
මේ සම්බන්ධයෙන් බළන්ගොඩ සමිබන්ධිකරණ කමිටු සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය. –
“මෙම සතොස ගොඩනැඟිල්ල පසුගිය ආණ්ඩු කාලයේදී ප්‍රතිසංස්කරණ කිරීම සඳහා සැලසුම් කර සතොස වෙළෙඳසල පෞද්ගලික ගොඩනැඟිල්ලකට ගෙන ගොස් තිබෙන බවට සොයා බැලිමේ දී අනාවරණය වුණා. පාරිභෝගික ජනතාව වෙනුවෙන් අලුත් ස්ථානයේ එම සතොස වෙළෙඳසල මේ වන විටත් පවත්වාගෙන යනවා.
නමුත් මෙම කෝටි ගණනක් වටිනා තුන් මහල් ගොඩනැඟිල්ල භාවිතයට නොගෙන ගරා වැටෙමින් තිබෙන එක අපරාධයක්. මම මේ සම්බන්ධයෙන් අප රජයේ වෙළෙඳ අමාත්‍යවරයා දැනුම්වත් කළා. ඉතින් මෙම සතොස ගොඩනැඟිල්ල යළි ප්‍රතිසංස්කරණය කර නැවත භාවිතයට ගැනීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඉදිරියේ එම කටයුතු සාර්ථක වේවි යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
බළන්ගොඩ – සම්පත් ප්‍රියනන්දන