Monday, April 28, 2025
Home » කෝන්වැව සිද්ධාර්ථ විද්‍යාලයේ 144 වැනි සැමරුමට ගුරු සිසු උපහාර උලෙළක්

කෝන්වැව සිද්ධාර්ථ විද්‍යාලයේ 144 වැනි සැමරුමට ගුරු සිසු උපහාර උලෙළක්

by sachintha
February 17, 2025 2:30 am 0 comment

ගුණාත්මක අධ්‍යාපනයෙන් පරිපූර්ණ වූ සිසුන් ජාතික හා ජාත්‍යන්තරයට ගෙනයාමට වෙහෙස වන කාර්ය මණ්ඩලයක් කෝන්වැව සිද්ධාර්ථ විද්‍යාලයේ සිටින බවත් එම පාසලේ ප්‍රතිඵල ඉහළ නැංවීමට නව ක්‍රමවේද සහ ඉලක්ක හඳුන්වා දී ඇති බවත් කෝන්වැව සිද්ධාර්ථ විද්‍යාලයේ විදුහල්පති කෝන්වැව මුචලින්දාරාමධිපති පූජ්‍ය රඹපොතානේ සුමනසිරි හිමියෝ පවසති.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාප කාර්යාලයේ, කහටගස්දිගිලිය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් කෝන්වැව ගම්මානයේ කෝන්වැව සිද්ධාර්ථ විද්‍යාලය පිහිටා ඇත. එය ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ කහටගස්දිගිලිය කොට්ඨාසයේ පැරණිතම පාසල ලෙසද නම් දරා ඇත. ඒ අනුව කෝන්වැව සිද්ධාර්ථ විද්‍යාලයට වසර 144ක වර්ෂ පූර්ණය ඉකුත් 12 වැනිදා දිනට යෙදී තිබුණි. එය නිමිති කර ගනිමින් ගුරු සිසු උපහාර උලෙළක් කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදි ගලෙන්බිඳුණුවැව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඉමාලි නාකන්දල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහිදී පැමිණි පිරිස අමතා කෝන්වැව සිද්ධාර්ථ විද්‍යාලයේ විදුහල්පති කෝන්වැව මුචලින්දාරාමාධිපති පූජ්‍ය රඹපොතානේ සුමනසිරි හිමියෝ එසේ පැවැසූහ.

ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ පාසල් අතරින් සුවිශේෂි පාසලක් වන මෙම පාසල සිසුන් පස් දෙනෙකුගෙන් සහ එක් ගුරුවරයෙකුගෙන් ආරම්භ කර ඇත. මේ වනවිට මෙම පාසලේ සිසුන් 455ක් අධ්‍යාපනය හදාරති. වර්තමානය වන විට 01 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඉගෙනුම ලබන අතර ගුරුවරු 27ක් සේවය කරති.

මෙම ගුරු – සිසු උපහාර උලෙළේදී ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ පාසල් අතරින් සිසු කුසලතා අතින් ඉහළම දස්කම් පෙන්වමින් පසුගිය 2023 හා 2024 වසර තුළ සමස්ත ලංකා මට්ටමේ කුසලතා දැක්වූ සිසු සිසුවියන් 85 දෙනෙකු සහ එම කුසලතා සඳහා දරුවන් යොමු කරමින් කටයුතු කළ ගුරුවරුන් 5 දෙනෙකුද ඇගයීමට ලක් කෙරුණි. එහිදී සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ හිමිකරගත් සිසු සිසුවියන් නැටුම්, ගැයුම් රැසක් ඉදිරිපත් කළ අතර පාසලේ ගුරුවරියන්ගේ අලංකාර නර්තනයකින් උලෙළ වර්ණවත් විය.

මෙම පාසල පාසල් වර්ගීකරණය අනුව දෙවන වර්ගයේ පාසලක් බවත් මෙම පාසලේ සිසු සිසුවියන් සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ 2023 වර්ෂයේ සහ 2024 වර්ෂයන්වලදී ප්‍රථම ස්ථාන 03ක් සහ ජාතික මට්ටමේ ප්‍රථම ස්ථාන ලබා ගත් පාසලක් බවත් විදුහල්පති පූජ්‍ය රඹපොතානේ සුමනසිරි හිමියන් පැවසූහ. වර්තමානය වන විට මෙම පාසලේ අධ්‍යාපන ඉලක්ක සපුරා ලීම අනුව පාසලට සමාන්තර ශ්‍රේණිවල අවශ්‍යතාවයද දැඩිව බලපාමින් තිබෙන බවත් අධ්‍යාපන බලධාරින්ගේ සහයෝගයත් සිසු සිසුවියන්ගේ කැපවීම් මත ඉදිරියෙදී මෙම පාසල රන් අකුරින් ඉතිහාසගත කළ හැකි පාසලක් වීම නොඅනුමාන බවද විදුහල්පති පූජ්‍ය රඹපොතානේ සුමනසිරි හිමියෝ වැඩිදුරටත් සඳහන් කළෝය.

මෙම අවස්ථාවට කහටගස්දිගිලිය අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්වල විදුහල්පතිවරුන් මෙන්ම සිසුන්ගේ මවුපියන් රැසක් ද සහභාගි වූහ.

කැබිතිගොල්ලෑව සමූහ එස්.ජී. උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT