ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 174ක දරුණු පරාජයක් ලැබූ ඔස්ට්‍රේලියානු පිලට තවත් දින දෙකකින් ආරම්භ වන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට මුහුණදීම ප්‍රශ්නයක් වනු ඇති බව හිටපු ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නකු වන බ්‍රැඩ් හොජ් පැවසීය. ඔස්ට්‍රේලියාව එක්දින පිටියේ ලෝක ශූරයින් වුවද, ශ්‍රී ලංකා පිල ඉදිරියේ අසාර්ථකත්වය චැම්පියන්ස් කුසලානය සඳහා ඔවුන්ගේ සූදානම පිළිබඳ ප්‍රශ්න මතු කර ඇතැයි හෙතෙම පැවසීය.
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි ජයක් ලැබීමෙන් අනතුරුව බ්‍රැඩ් හොජ් රූපවාහිනී විස්තර ප්‍රකාශයේදී මේ බව පැවසීය.
“ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පිතිකරණ කාර්ය සාධනය පහළට වැටිලා. ප්‍රධාන ක්‍රීඩකයන් වන පැට් කමින්ස්, මිචෙල් ස්ටාර්ක් සහ ජොෂ් හේසල්වුඩ් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයන් වන මිචෙල් මාෂ්, මාකස් ස්ටොයිනිස් ඔවුන් සමඟ නෑ. ශ්‍රී ලංකාවට එරෙහි දරුණු පරාජය නිසැකවම වත්මන් එක්දින ලෝක කුසලාන ශූරයන්ට දැවැන්ත පසුබෑමක්. ඔවුන් ඉක්මනින් යළි නැඟී සිටිය යුතුයි” හොජ් පැවසීය.
ඔස්ට්‍රේලියාව ද්විපාර්ශ්වික තරගාවලියකදී ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන්ගේ විශාලතම පරාජය මෙහිදී වාර්තා කළේය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 5කට ලකුණු 281ක් ලබා ගත් අතර, කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ වේගවත් ශතකය හේතුවෙන් එය ශක්තිමත් විය. නායක චරිත් අසලංක සහ ජනිත් ලියනගේ එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 35කදී ලකුණු 66ක තීරණාත්මක සබඳතාවක් ගොඩනැඟූ අතර, අසලංක පන්දු 66කදී ලකුණු 78ක් ලබා ගනිමින් නොදැවී සිටියේය. දුනිත් වෙල්ලාලගේගේ දඟ පන්දු යැවීම හමුවේ අසරණ වූ ඔස්ට්‍රේලියාව ලකුණු 107කට දැවී ගියේය.
ඔස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් කණ්ඩායමේ දැවැන්ත පරාජය ගැන කනගාටු වූ අතර, නිමාවූ තරග දෙකේදීම ශ්‍රී ලංකාව හමුවේ අසාර්ථක වූ බවද පිළිගත්තේය.
“අපි පසුගිය තරග දෙකේදීම පරාජයට පත් වුණා. ශ්‍රී ලංකාවට ගෞරවය හිමි වෙනවා. ඔවුන් මේ තරගාවලියේදී දක්ෂ ලෙස ක්‍රීඩා කළා. ඔවුන්ගේ පන්දු යවන්නන් සුවිශේෂී ලෙස ක්‍රීඩා කළා. ශ්‍රී ලංකාවට එය විනෝදජනක කාලයක්. අපි අලුත් ක්‍රීඩකයන් බොහෝ දෙනකු යොදවා බැලුවා. ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරයට ස්තූතියි. හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක කොටසක් වීමට ලැබීම ගැන සතුටුයි” ස්ටීව් ස්මිත් පැවසීය.
ප්‍රින්ස් ගුණසේකර