Home » නඩුවේ සාක්කි විභාගය ඇරඹේ
හිටපු යුද හමුදාපති SF ඝාතන තැත

නඩුවේ සාක්කි විභාගය ඇරඹේ

by sachintha
February 18, 2025 3:45 am 0 comment

හිටපු යුද හමුදාපති, ජනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා මූලස්ථානය ඉදිරිපිටදී ඝාතනය කිරීමට උත්සාහ කළ මරාගෙන මැරෙන බෝම්බකාරියගේ හිස අසල තිබූ ගසක එල්ලෙමින් තිබූ බව හා ඇයගේ දෙපා ශරීරයෙන් වෙන්ව වෙනත් තැනක තිබුණු බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කේ. සුනිල් කුමාර මහතා කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (17දා) කියා සිටියේය. බෝම්බකාරියගේ ශරීරයේ අනෙකුත් කොටස් වෙනත් තැනක විසිර තිබුණු බව සාක්ෂිකරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සො‍ලිසිටර් ජනරාල් ලක්මාලී කරුණානායක මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ නඩුවේ ප්‍රධාන විත්තිකරු වන සෙල්වරාසා කිරුබාකරන් හෙවත් මොරිස් ශම්මුගලිංගම් සූරියකුමාර් යන අය බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අදාළ අධිකරණ වෛද්‍යවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඇතුළු ගොනුව මහාධිකරණ ඉදිරියේ නඩුව කැඳවූ ඊයේ (17දා) අතපසුවීමකින් ඉදිරිපත් කළ නොහැකිවීම නිසා එය සොයාගන්නා තෙක් පැමිණිල්ලේ නඩු ගොනුවේ හා සාක්ෂිකාර වෛද්‍යවරයා සන්තකයේ තිබූ වෛද්‍ය වාර්තාව සමඟ සසඳා නඩු විභාගය පවත්වාගෙන යෑමට පැමිණිල්ල කළ ඉල්ලීමට විත්තිය විරුද්ධ විය. ඒ පිළිබඳ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා විත්තියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

2006 ජනවාරි 25 වැනිදා යුද හමුදා මූලස්ථානයේ පිවිසුම් දොරටුව අසලදී එවකට යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමේ අරමුණින් එල්ටීටීඊ බෝම්බකාරියක වන දුර්ගා නමැත්තිය කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 230ක් යටතේ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් යැයි කියන විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරන ලදී.

සෙල්වරාසා කිරුබාකරන් හෙවත් මොරිස් ශම්මුගලිංගම් සූරියකුමාර් හා තම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් නමැති එම විත්තිකරුවන් ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

එකී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සරත් ෆොන්සේකා මහතා බරපතළ තුවාල ලබා තිබූ අතර, ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සැරයන්වරයකු, කෝප්‍රල්වරුන් තිදෙනෙකු ඇතුළු හමුදා සෙබළුන් කීහිප දෙනෙකු මියගොස් තවත් බට පිරිසක් තුවාල ලබා තිබුණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලී කරුණානායක මහත්මිය පැමිණිල්ල මෙහෙයවූවාය. විත්තිය වෙනුවෙන් නීතීඥ සුරංග බණ්ඩාර, අස්ථික දේවේන්ද්‍ර, ආනෝල්ඩ් ප්‍රියන්තන් මහත්වරුන් සමඟ නීතීඥ මඬුල්ලක් පෙනී සිටියහ.

චන්දන ජයවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT