මේ කතාව ඇසෙන්නේ හසලක පැත්තෙනි. ඔහු සිය දියණියගේ මංගල උත්සවයට පවුලේ ඥාති මිත්රාදීන්ට අමතරව තම කාර්යාලයේ මිතුරන් කිහිප දෙනකුට ද අරාධනා කළේ නොකර බැරිකම නිසාමය.
කෙසේ වෙතත්, ජැන්ඩි පහට හැඳ පැලඳ ගත් කාර්යාල මිතුරන් පිරිස මංගල දිනයේ උදේ පාන්දරින්ම පිටත්ව ඇවිත් තිබුණේ ‘අපි යමු ඔක්කෝටම කලින්’ යැයි කියමිනි. මේ මංගල ගමනේ නඩයට 6 දෙනකු එකතු වී තිබිණි.
“අමුවෙන්ම යන්න ද හදන්නේ බං”
එන අතරමඟ දී එක් මිතුරෙක් ඇසීය.
“යමු යමු ගිහිල්ලා සප්පායම් වෙමු. ඕකා හොඳ එකා. ඌ දන්නවා අපේ හැටි. ඒකයි එන්න කිව්වෙත් අපිට හොඳට සලකන්න.” එතැන හුන් වැඩිහිටියා කීවේය.
‘පිස්සුද? අපි ටිකක් සලු වෙලා යං. නැත්තං වැඩක් නෑ. අනික මට නම් ඌගේ ගෙදර එව්වෝ විශ්වාස නෑ.’ කතාවෙන් කතාවෙන් ස්ථීර වුණේ මේ කියූ මිතුරාගේ වචනයයි.
‘හරි අපි තෑග්ගට මෙච්චරක් දෙමු. බෝතලේට මෙච්චරක් දෙමු’ ඔහුම යෝජනා ස්ථිරත්වයට පත් කර අනෙක් අයගෙන් අදහස් විමසුවේය. එහිදී මත්වතුර නොබොන අයෙක් ඊට විරුද්ධව කතා කළේය.
“මං දෙන්නේ නෑ ඔන්න සල්ලි. උඹලා බේබද්දෝ නේ. උඹලා බීහල්ලා”
‘හරි උඹෙන් ඕන නෑ. මේ සල්ලි ටික තියාගනිං කෝ උඹ. අපිට තෑග්ගක් ගන්න’
අවසානයේ එක් බෝතලයකින් සෑහීමකට පත් නොවුණු පස් දෙනා තවත් එකක් ගන්නට මුදල් තිබේදැයි බැලුවේය.
‘හරි. තෑග්ගට තියපු සල්ලිවලින් තව 1500ක් ගමු නේද?’ ඔහුගේ යෝජනාවට පස් දෙනකු කැමැත්ත පළ කළත් පෙර පරිද්දෙන් විරෝධය පළ කළ මිතුරා මෙතැනදී ද ඊට විරුද්ධව නැඟී සිටියේලු. ඔහුගේ විරුද්ධත්වය සතයකට හෝ මායිම් නොකළ මිතුරන් හොඳ හැටි සප්පායම් වීමෙන් පසුව මනාල යුවළට ගෙන යන තෑග්ග ගැන කතා කරන්නට විය.
‘දැන් ඉතිං ඉතුරු වෙලා තියෙන්නේ 1500යි. මේකෙන් මොනවා ගන්න ද බං. තොපිට ලැජ්ජා නැද්ද? මට නම් මඟුල් ගෙදර එන්න බෑ. තොපි පලයව්. මම යනවා. මම පස්සේ කියනවා උඹලගේ වැඩ අරූට’ මත්පැන් පානය නොකළ මිතුරා සිටියේ තරහෙන් පිපිරි පිපිරීය.
‘හා.. දීපන් 1500. මං බලා ගන්නම්. මට විනාඩියක් දියං කෝ’
ඔහු එම මුදල ද රැගෙන නොපෙනී ගියේය. මද වේලාවකින් වෙරි මතින් වැනි වැනී ඔහු පැමිණියේ අතේ මහ විශාල පාර්සලයක් ද සමඟය.
‘හා .. යමං.. දැන් යමං.. ඔක්කෝම ප්‍රශ්නේ ඉවරයි.’
මේ තෑගි පාර්සලය දෙස බැලූ සියල්ලන්ටම නිවන් ගියේ ඉන් පසුවය. ‘යන්තම් ඇති’ ඔවුහු සුසුම් හෙළමින් මංගල නිවෙසට ගොස් ඇති පදම් සම්පායම් වී හොඳින් කා බී නව යුවළට සුබ පතා තෑග්ග ද දී ඉන් පිටව ගොස් තිබුණි. පසුදින මංගල නිවෙසේ නව යුවළ තමන්ට ලැබුණු තෑගි බෝග එකින් එක දිගහරිමින් සිටියේලු. එකවරම අලුත් මනමාලි මහ හඬින් කෑ ගසමින් කාමරයෙන් එළියට පැන්නේ ‘අනේ අම්මෝ…’ යැයි කියමිනි. ඒ සමඟම ඇය සිහිමුර්ජා වී ඇද වැටුණාය. ඒ වන විට නිවෙසේ සිටි ඥාති හිතමිතුරන් මෙන්ම වැඩිහිටි සියල්ලෝම ඇය දෙසට දිව ආවේ වේගයෙනි.
වතුර ගසා සිහිය ගත් ඇය මහ හඬින් හඬමින් සිටියාය. ‘මොකෝ වුණේ’ ඇය සිය ඇඟිල්ල කාමරය දෙසට දික් කර යමක් පෙන්නුවාය.
විශාල තෑගි පාර්සලය අස්සේ තිබූණේ දිගම දිග රබර් නයෙකි. එමෙන්ම පුංචි ළමයින් සෙල්ලම් කරන ප්ලාස්ටික් සෙල්ලම් බඩු සමඟ මේ තෑග්ග ඔවුන්ට දී තිබුණේ පියාගේ කාර්යාලයීය මිතුරන් විසින් බව ඔවුන්ට වැටහිණි.
‘අලුත් මනමාලිගේ නයා දැක්කේ නැතෙයි’ මේ කතාව ගමේ කා අතරටත් විගසින් පැතිර ගියේ ඒ මොහොතේ නිවෙසේ සිටි වැඩිහිටි කටහැකර කාන්තාවක් නිසාවෙනි.
හසලක සමූහ ඊ. එම්. එස්. ඒකනායක